ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී හෙට සහ අනිද්දා (මාර්තු 17 – 18) දෙදින තුල පැවැත්වීමට නියමිත 112 වන “ආදරවන්තයන්ගේ සටන” සඳහා මෙවර අන්තර් පාසල් 19න් පහල පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ප්‍රමුඛයන් වන රිච්මන්ඩ් විද්‍යාලය පිවිසෙන්නේ ‘බී’ කාණ්ඩයේ අවසන් ස්ථානයට එක පියවරක් පමණක් ඉහලින් සිටින ගාල්ල මහින්ද විද්‍යාලයට වඩා වැඩි වාසි සමඟයි.

“ක්‍රීඩා ශක්තිය, දකුණේ ලේ වලම ගැබ් වෙලා තියෙනවා” – රුමේෂ් බුද්ධික

ගාල්ල යනු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් දායාද කළ නගරයකි. මාවන් අතපත්තු, චම්පක රාමනායක, උපුල් චන්දන, ලසිත් මාලිංග ඊට පැහැදිලි නිදසුන් වේ…

තරගාවලි ඉතිහාසයෙන් බිඳක්.

සියවසකට අධික කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ගාලු පුරවරයේ ප්‍රධානතම පාසල් ක්‍රිකට් ගැටුමේ ආරම්භය1905 වසර දක්වා අතීතයට දිව යයි. එම වසරේ දී රිච්මන්ඩ් විදුහල්පති ගරු J. H. ඩැරල් දේවගැති වරයා සහ මහින්ද විදුහල්පති F. L. වුඩ්වර්ඩ් මහතා විනිසුරුවන් ලෙස කටයුතු කල එම ආරම්භක තරගයම ජයග්‍රහණය කරන්නට රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය. මහින්ද විද්‍යාලයේ පළමු ජයග්‍රහණය වාර්තා වූයේ ආදරවන්තයන්ගේ සටන ආරම්භ වී තුන් වසරක් ගත වූ පසුවයි. එදා මෙදා තුර ඉතිහාසයේ කණ්ඩායම් දෙකම තරග 23 බැගින් ජයග්‍රහණය කර ඇති අතර තරග 63ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. තරග 3ක් අවසන් වී තිබෙන්නේ තීරණයකින් තොරවයි.

ආදරවන්තයන්ගේ සටනේ ශතකයක් වාර්තා කරන්නට සමත් වූ පළමු පිතිකරුවා ලෙස ඉතිහාස ගත වී සිටින්නේ 1939 වසරේ මහා ක්‍රිකට් තරගයේ දී ලකුණු 155ක් රැස් කල සිරිසේන හෙට්ටිගේයි. පී. එස්. තුඩුවේවත්ත, තරගයක කඩුලු 10ක් දවාගත් පළමු පන්දු යවන්නා බවට පත් වූයේ 1917 මහා ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 19කට කඩුලු 6ක් සහ දෙවන ඉනිමේ ලකුණු 23කට කඩුලු 5ක් දවා ගනිමිනුයි.

[rev_slider dfcc728]

මෙම පාසල් දෙකම ශ්‍රී ලංකා ක්‍රිකට් අඹරට තරු දායාද කළ පාසල් වන අතර ඒ අතරින් මහින්ද විද්‍යාලයෙන් බිහි වූ උපුල් චන්දන සහ ලසිත් මාලිංග, රිච්මන්ඩ් විද්‍යාලය තම ක්‍රිකට් තිඹිරි ගෙය බවට පත් කර ගත් සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් ප්‍රධාන කොට හැඳින්විය හැකියි.

රිච්මන්ඩ් විද්‍යාලය

මෙවර සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් පළමු කාණ්ඩයේ ලීග් ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩයෙන් තරග වදින රිච්මන්ඩ් කණ්ඩායම ප්‍රසාද ලකුණු 124.14ක් සමඟ අදාළ කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත්ව සිටියි. මහා ක්‍රිකට් තරගයට පෙර පැවති තරග අතුරින් එක් ජයග්‍රහණයක්, ජය පැරදුමෙන් තොර තරග 5ක් සහ පරාජයන් 2ක් වාර්තා කර තිබෙන ඔවුන් මහා ක්‍රිකට් තරගයට පිවිසෙන්නේ අවිවාදිතවම වඩාත් වාසි සහිතවයි.

නායක කමිඳු මෙන්ඩිස් රිච්මන්ඩ් කණ්ඩායමේ ප්‍රධානතම අවියක් ලෙස හැඳින්විය හැකි අතර ශ්‍රී ලංකා ජාතික 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කර ඇති ඔහු, මෙවර මහා ක්‍රිකට් තරගය සඳහා නැවතත් කණ්ඩායම සමඟ එක්ව සිටියි. ජාතික යොවුන් කණ්ඩායමේ වගකීම් හේතුවෙන් මෙවර පාසල් තරග වාරයේ වැඩි කොටසක් අහිමි වුවත්, පාසලේ ප්‍රධානතම අභියෝගය වෙනුවෙන් තම පිත්තේ මෙන්ම පන්දුවේ සවිය ද උපරිමයෙන්ම ලබා දීම කමිඳුගේ අරමුණ වනු ඇත.

කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයකු වන ධනංජය ලක්ෂාන් මෙවර තරග වාරයේ දී ලකුණු 650කට වඩා රැස් කර ගැනීමට සමත්ව සිටින්නේ පන්දුවෙන් කඩුලු 45කට වැඩි ප්‍රමාණයක අයිතිය ද තමන්ගේ නම ඉදිරියෙන් සටහන් කර ගන්නා අතර තුරයි. එබැවින් 2017 ආදරවන්තයන්ගේ සටනේ දී ද ඔහුගේ තුන් ඉරියව් දස්කම් රිච්මන්ඩ් කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

නායක කමිඳුගේ සොහොයුරු සඳුන් මෙන්ඩිස් මෙවර තරග වාරයේ තරග 14ක් තුළ කඩුලු 68ක් දවා ගනිමින් පාසලේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින අතර මහා ක්‍රිකට් තරගයේ දී රිච්මන්ඩ් පන්දු බල ඇණියේ ප්‍රධානතම අවිය ලෙස ඔහුව හැඳින්විය හැක.

මහින්ද විද්‍යාලය

මහින්ද විද්‍යාලය මෙවර තරග වාරය තුල මුහුණ දී තිබෙන්නේ එතරම් ප්‍රසන්න අත්දැකීම් වලට නොවේ. ඔවුන් අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට්  තරගාවලියේ දී බීකාණ්ඩයෙන් තරග වැදුණු අතර එහි දී ප්‍රසාද ලකුණු 60.17ක් සමඟින් ලකුණු සටහනේ පහතම ස්ථානයට වැටීම එක් පියවරකින් නවත්වා ගැනීමට සමත්ව සිටින්නේ ජය පරාජයෙන් තොර තරග 7ක් සහ විසඳුමකින් තොර තරගයක් සමඟ වන අතර එකදු ජයග්‍රහණයක් හෝ ලබා ගැනීමට මහින්ද විද්‍යාලය සමත්ව නැත.

මහින්ද විද්‍යාලය මහා ක්‍රිකට් තරගයට පිවිසෙන්නේ හංසික වැලිහිඳගේ නායකත්වය යටතේයි. මෙවර තරග වාරයේ දී තමන් දැක්වූ දස්කම් තවත් වර්ධනය කරගෙන මහා ක්‍රිකට් ගැටුමේ දී රිච්මන්ඩ් කණ්ඩායමට අභියෝගයක් වන්නට ඔහු සියලු උත්සාහ දරනු ඇත.

රොෂාන් කාවින්ද කණ්ඩායමේ උප නායකත්වය දරන අතර අමතක කර දැමිය යුතු පාසල් තරග වාරයකට අමතක නොවන අවසානයක් සනිටුහන් කිරීමේ අරමුණින් ඔවුන් ආදරවන්තයන්ගේ සටනට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටියි.

සාරාංශය

මෙම තරග වාරයේ වාර්තා අතින් බැලූ කළ රිච්මන්ඩ් විද්‍යාලය මෙම කණ්ඩායම් දෙක අතරින් අතිශයින්ම ඉහළින් සිටින අතර 112 වන ආදරවන්තයන්ගේ සටනේ දී කුසලානය තවදුරටත් තමන් සන්තකයේම රඳවා ගැනීමේ අරමුණ ඇතිව ඔවුන් හෙට (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇත.

>> තරගය සජීවීව නරඹන්න ThePapare.com සමඟින් එක්වන්න

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න