ඔහු ක්‍රිකට් දුටුවේ බහ තෝරන්නටත් ප්‍රථමයෙනි. ගෙදර තනිකරම ක්‍රිකට් ය. තාත්තාගේත් අයියාගේත් ලෝකය ක්‍රිකට් වෙද්දී මේ පොඩ්ඩාගේ ලෝකය ද ක්‍රිකට්ම විය. මේ පොඩ්ඩාට දැන් වයස අවුරුදු 16කි.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ වීරයා ඔහු ය. එපමණක් නොවේ නිමා වු ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ සේ ම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ ද දක්ෂතම පන්දු යවන්නා ඔහු ය.
නමින් “සඳුන් මෙන්ඩිස්” වන ඔහු කවුරුත් දන්නේ “පොඩි මෙන්ඩා” ලෙසිනි. මේ ThePapare.com ඔහු සමඟ පැවති කතාබහකි.

සඳුන්ගේ අයියා කමිඳු මෙන්ඩිස්. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ය.
“අයියා තමයි මගේ ක්‍රිකට් ලෝකේ අංක එක. පොඩි කාලෙ ඉඳලම මම අයියා කරන හැමදේම කරන්න උත්සාහ කළා. යන්තම් ඇවිදින්න පුළුවන් කාලේ දී අයියා තමයි මට බැට් එක අල්ලන්න පුරුදු කරල තියෙන්නේ. ඒ දවස්වල අයියටත් බැට් එක අල්ලන්න බැහැ. එයත් පොඩියි නේ. තාත්තා කියල දුන්න දේවල් තමයි අයියා මට කියල දීල තියෙන්නේ.” සඳුන් තම ක්‍රිකට් ආරම්භය සිහිපත් කළේය.
පර්සි මෙන්ඩිස් සහ ඉනෝකා ගුණතිලක දෙපළගේ දූ දරු තිදෙනෙක්ගෙන් යුත් නිවසේ බාලයා වෙන්නේ සඳුන් මෙන්ඩිස් ය.

සඳුන් අවුරුදු 5ක් වයස අවුරුදු 13න් පහළ රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේය. ඉන් වසර දෙකක් ගෙවී යන්නේ C කණ්ඩායමේ ය. ඉතිරි වසර තුන A කණ්ඩායමේ ය. සඳුන් A කණ්ඩායම නියෝජනය කරමින් පිටියට පිවිසෙන පළමු අවුරුද්දේම එම වයස් කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.
රිච්මන්ඩ් මාතාවගේ අභිමානවත් ක්‍රිකට් චාරිකාව
ගාල්ල පුරවරයේ සුප්‍රසිද්ධ පාසලක් වන රිච්මන්ඩ් විද්‍යාලය ක්‍රිකට් ක්‍රීඩා අතින් විශාල ඉතිහාසයකට…..
අනතුරුව වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩා කරද්දී අනුශූරතාව දිනා ගැනීමට ඔවුන් සමත් විය. එම වයස් කාණ්ඩයේ ක්‍රීඩා කරද්දී සඳුන්ට මැලේසියාවේ පැවති 2016 තුන්කුජෆාර් ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය හිමි විය. එමෙන්ම එම වසරේම වයස අවුරුදු 16න් පහළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් මෙරට පැමිණෙන අතර සඳුන් ඔවුන්ට එරෙහි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ද අවස්ථාව උදා කර ගත්තේය.
සඳුන් පසුගිය වසරේ සිට වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරන අතර එම වසරේ සිට ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමේ මහින්දයන්ට එරෙහි කණ්ඩායමේ සාමාජිකයෙක් ද වේ.

සඳුන් එම අත්දැකීම් සමඟින් එළඹෙන පාසල් ක්‍රිකට් තරග සමයේ දී වයස අවුරුදු 17න් පහළ රිච්මන්ඩ් කණ්ඩායමේ නායකත්වයට ද පත්ව සිටියි.
“සඳුන් මෙන්ඩිස් ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු සෑම අවස්ථාවකම කඩුලු අතර සිටිනවා. ඉතාම ලස්සන ඇක්ෂන් එකකින් නීත්‍යානුකූලව පන්දු යවනවා. පන්දුවට පහර දීමේ දී ද ඔහුගේ දක්ෂතා කැපී පෙනෙනවා. තුන් ඉරියව්වෙන් දක්ෂ ක්‍රීඩකයෙක් ලෙසින් ඉදිරියේ දී අපිට සඳුන් ගැන මීට වඩා කතා කරන්න අවස්ථාව ලැබේවි.” රිච්මන්ඩ් විද්‍යාලයීය ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ධම්මික සුදර්ශන මහතා ThePapare.com වෙත සඳුන්ට සහතිකයක් දී තිබුණේ ඒ ආකාරයෙනි.

“ටීම් එකට යමක් කරන්න ලැබීම ගැන සතුටුයි. බිග් මැච් එකේ දී අපි අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබුණේ. ඒ නිසා අපට ඒ වෙලාවෙ අවශ්‍ය වෙලා තිබුණේ මහින්ද කණ්ඩායමත් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරන්න. ඔවුන්ගේ ඉනිම ආරම්භයේ දී ලකුණු ටිකක් වැඩිපුර ගියා. නමුත් මටත් දිලුම්ටත් ඒක පාලනය කරන්න පුළුවන් වුනා. දිලුම් හොඳ පාට්නර් කෙනෙක්. වන් ඩේ මැච් එකේ දී අපිට කිසිම පීඩනයක් නැතිව පන්දු යවන්න පුළුවන් වුනා. අපි ඒක කළා. කොහොම නමුත් මේ අවස්ථා දෙකේ දී ම මට කණ්ඩායම වෙනුවෙන් යමක් කරන්න ලැබීම ගැන සතුටුයි.“
එම තරග දෙකේ දී ම සඳුන් ක්‍රීඩා කරන්නේ තම අයියා වූ කමිඳු මෙන්ඩිස් ද සමඟිනි. ආදරවන්තයන්ගේ වාර්ෂික සීමිත පන්දුවාර තරගයේ දී සඳුන් තරගයේ දක්ෂතම පන්දු යවන්නා වෙද්දී අයියා, කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා ලෙසින් එකම වේදිකාවේ සම්මානයට පාත්‍ර විය.
“අයියත් එක්ක ක්‍රීඩා කරන්න ලැබීම ම විශාල ශක්තියක්. ඒක මට වෙන කාගෙන්වත් ලැබෙන එකක් නැහැ. කොහොම වුනත් අපි දෙන්නට එකම තරගයක දී මෙහෙම සම්මාන හිමි වීම ගැන තිබෙන්නේ පුදුම සතුටක්. මම බෙස්ට් බෝලර් වෙලා සම්මාන අරගෙන ආවට පස්සේ අයියා මෑන් ඔෆ් ද මැච් සම්මානයට නම් කෙරෙද්දි මට දැනුණ දේවල් විස්තර කරන්න මම දන්නෙ නැහැ. ඒක හැඟීමක්ම විතරයි. සතුටුයි.”
මෙම තරගවලින් පසුව පැවතියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලැබූ තරගාවලියයි. එහි දී ද මේ අයිය මලෝ සුපිරි දක්ෂතා දැක්වූහ. ඒ අතරින් අවසාන මහා තරගයේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් සඳුන් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි. මේ ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් ය.
“තරගය දිනා ගන්න මගේ දක්ෂතා මේ තරමට ප්‍රයෝජනවත් වීම ගැන පුංචි ආඩම්බරයක් තියෙනවා. අපි අවසාන තරගයට සහභාගි වුනේ පසුගිය වසරේ වීරයන් ලෙසින්. ඉතිං අපිට ඒ ගරුත්වය තව දුරටත් රැක ගැනීමේ අභියෝගය තිබුණා. අපි පන්දු යවද්දී පීටර්ස්ලා ටිකක් ඉදිරියෙන් සිටියේ. මේ වෙලාවේ ඔවුන්ගේ ඉනිම පාලනය කරන්න නම් ඩොට් බෝල් යැවිය යුතුයි කියල පණිවුඩයක් ආවා. ඒ අනුව අපි ක්‍රියාත්මක වුනා. කඩුලු 5ක් දවා ගනිමින් සහ පිතිකරුවෙක් ලෙස ලකුණු 42ක් ලබා ගනිමින් දැක්වූ දක්ෂතාවට හිමි වූ මේ සම්මානය මට ලබා දුන්න විශාල වටිනාකමක්.”
සඳුන් මෙන්ඩිස්ගේ දක්ෂතාවයෙන් ශූරතාව දෙවැනි වරටත් ගාල්ලට
ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (28) නිමාවූ 2017/18 සිංගර් කුසලාන සීමිත පන්දුවාර ක්‍රිකට්….
සඳුන්ගේ ක්‍රිකට් දිවිය පෝෂණය කළ අය අතරින් ඉහළින්ම කියවෙන්නේ තාත්තාත්, අයියාත්, අම්මාත් සහ අක්කාත් ය. ඊට පසුව ක්‍රිකට් පුහුණුකරුවන් ධම්මික සුදර්ශන, ධනුශ්ක දෙනගම, ප්‍රේම් ලක්මාල් සහ අජන්ත කුමාර යන මහත්වරුන් ය.

දකුණත් දඟපන්දු යවන්නෙක් ලෙසින් ක්‍රිකට් පිටියට පිවිසි සඳුන් මෙන්ඩිස් මේ වෙද්දී දක්ෂතා සපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් පාසල් ක්‍රිකට් පිටිය කලඹමින් සිටින්නේ ය. ඔහු ගැන අදටත් වඩා කතා කරන්නට හෙට දිනයේ තවත් මාතෘකා නිර්මාණය වෙනු ඇත. ඔහුගේ දක්ෂතා ඒ තරමටම විවිධාකාර ය.
“ක්‍රිකට් පිටියේ ලැබෙන සෑම තරගයක දී ම උපරිමයෙන් දක්ෂතා දක්වන්නයි මගේ කැමැත්ත. ඒ දක්ෂතා අනුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම දක්වා යෑමයි අපේක්ෂාව. ඒ වගේම මගේ විශාල විශ්වාසයක් තියෙනවා අයියා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙමින් එහි උපරිමයටම යයි කියලා. කවදා හරි දවසක අයියත් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න ලැබෙනකම් මම මේ ගමන යනවා.” සඳුන් අප හා පැවති කතාව අවසන් කරමින් පැවැසුවේය.
ඔහුගේ බලාපොරොත්තු සඵල වේවායි ThePapare.com අපගේ ද ප්‍රාර්ථනාවයි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















