කෝලී නොනැවති කෝටිපතියන් අතර ඉදිරියටම

1364
Indian cricketer Virat Kohli attends a promotional event for a watch company in Mumbai on September 26, 2018. (Photo by PUNIT PARANJPE / AFP)

ෆෝර්බ්ස් ඉන්දියා සඟරාව මඟින් 2018 වසරේ දී වැඩිම ආදායම් ලද ඉන්දීය ක්‍රීඩකයා වශයෙන් ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නම් කර ඇත.

2018 වසරේ දී කෝටි 228.09ක්

ෆෝර්බ්ස් ඉන්දියා සඟරාවට අනුව 2018 වසරේ දී විරාත් කෝලි විසින් උපයාගෙන තිබෙන මුදල ඉන්දීය රුපියල් කෝටි 228.09කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 571.02ක අතිවිශාල මුදලකි. පසුගිය දෙවසරේ දී කෝලි විසින් උපයාගෙන තිබූ මුදල වන්නේ ඉන්දීය රුපියල් කෝටි 134.44 (2016) සහ 100.72 (2017) කි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී කෝලිගේ ආදායම දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී ඇත.

හේතු මොනවා ද?

1.“කෝලි සහ අනුෂ්කා ශර්මා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ” (Instagram/Narendramodi)

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා සමඟින් කෝලි විවාහ වූ අතර එම විවාහය පිළිබඳව ක්‍රිකට් ලෝකයේ නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. එම විවාහය සහ ඉන්පසු දිනෙන් දින වර්ධනය වූ කෝලිගේ ප්‍රතිරූපය ඔහුගේ ආදායම දෙගුණයකින් වර්ධනය වීමට ඉවහල් වූ ප්‍රධානතම හේතුව ලෙසින් අවිවාදයෙන් සැලකිය හැක.

තවද සුපුරුදු පරිදි ක්‍රීඩා පිටිය තුළත් කෝලිගෙන් ප්‍රදර්ශනය වූ හැකියාවේ අඩුවක් නොවූ අතර 2018 වසරේ දී ටෙස්ට් ශතක 4ක් සහ එක්දින ශතක 6ක් කෝලි විසින් වාර්තා කර තිබේ. අඩුම ඉනිම් සංඛ්‍යාවකින් (ඉනිම් 205) එක්දින ලකුණු 10 000 පසුකළ ක්‍රීඩකයා බවට ද කෝලි මෙම වසරේ දී පත්වුන අතර ලෝකයේ අංක 1 ටෙස්ට් පිතිකරු බවට පත්වීමට ද ඔහුට හැකි විය.

ඉන්දියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවට පුදනු ලබන ඉහළම සම්මානය වන Rajiv Gandhi Khel Ratna සම්මානයෙන් ද මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී කෝලි පිදුම් ලැබීය.

එයට අමතරව Karva Chauth උත්සව දිනයේ දී සිය බිරිඳ අනුෂ්කා ශර්මා හට කෝලි විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයට ලක්ෂ දෙක ඉක්මවූ ලයික් ප්‍රමාණයක් ලැබී තිබූ අතර 2018 වසරේ දී ඉන්දියාවේ වැඩිම ලයික් ප්‍රමාණයක් ලබා තිබූ ට්විටර් පණිවුඩය බවට ද පත්විය. එම ට්විටර් පණිවුඩය (සහ සුනිල් චෙත්රි විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩය) 2018 වසරේ ඉන්දියාවේ රන් ට්විටර් පණිවුඩය ලෙසින් ද නම් කෙරුණි.

මෙම සියලුම කාරනාවලින් සිදු වූයේ 30 හැවිරිදි විරාත් කෝලිගේ ජනප්‍රියතාව ඉහළ යාමයි. එහි ප්‍රතිඵලය වූයේ පිට පිට තෙවැනි වරටත් ඉන්දියාවේ වැඩිම ආදායම් ලබන ක්‍රීඩකයා බවට කෝලි පත්වීමයි.

ලෝක ක්‍රීඩා උළෙලක් තුළ කෙරුණු “ඓතිහාසික විප්ලවය”

පසුගිය ශතවර්ෂය තුළ ක්‍රීඩා උළෙලක පීඨිකාවක් මත මැවුණු වඩාත්ම ජයග්‍රාහී ඉරියව්ව, ටොමී ස්මිත් …

වැඩිම ආදායම් ක්‍රිකට් පිටියෙන් නොවේ

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙන් සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් 2018 වසරේ දී විරාත් කෝලි හට ලැබී තිබෙන මුදල දල වශයෙන් කෝටි 30ක මුදලක් වේ (මෙය අප විසින් සකස් කළ දල අගයක් පමණි). එසේ නම් අනෙකුත් මුදල් කෝලිට ලැබුණේ කෙසේ ද?

මෙය ඕනෑම ක්‍රීඩකයෙකුට පොදු කාරණයක් වන අතර අනෙකුත් සියලුම මුදල් කෝලි විසින් උපයා ගෙන තිබෙන්නේ වෙළඳ දැන්වීම්වලට පෙනී සිටීමෙන් සහ විවිධ සමාගම් සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම් අනුවයි.

කෙසේ නමුත් එම ගිවිසුම් සහ වෙළඳ දැන්වීම් කෝලි හට හිමිවන්නේ ඔහුගේ ජනප්‍රියභාවය නිසා වන අතර ඔහු ජනප්‍රිය වී තිබෙන්නේ ක්‍රිකට් නිසාය. ඒ අනුව කෝලි විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ උපරිමය පෙන්වන නිසා ඔහුට මෙසේ ආදායම් ඉපයීමට හැකිව තිබේ.

ඉන්දියාවෙන්ම දෙවැනියා

2.“සල්මන් ඛාන්” (Forbes India/Sachin Gokhale)

ඉන්දියාවේ සිටින ජනප්‍රිය පුද්ගලයන් (නළු නිලියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ගායකයන්, අධ්‍යක්ෂකවරුන්) 100 දෙනෙකුගේ ආදායම ෆෝර්බ්ස් ඉන්දියා සඟරාව මඟින් නිකුත් කර ඇති අතර සමස්ත ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමටත් ඉන්දීය ක්‍රිකට් නායකයාට හැකිවී තිබේ (ක්‍රීඩකයන් අතර පළමුවැනි ස්ථානය).

මෙම ලැයිස්තුවේ පළමුවැනි ස්ථානය හිමිව තිබෙන්නේ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් හටයි. සල්මන් විසින් 2018 වසරේ  දී උපයා ගෙන තිබෙන මුදල වන්නේ ඉන්දීය රුපියල් කෝටි 253.2කි. අක්ශේ කුමාර්, දීපිකා පදුකෝන්, ආමීර් ඛාන්, අමිතාබ් බච්චන්, රන්වීර් සිං සහ අජේ දේව්ගන් හටද මෙම සමස්ත ලැයිස්තුවේ මුල් ස්ථාන ලැබී තිබේ.

දෝනි සහ තෙන්ඩුල්කාර්ට තවමත් ඉහළම තැන

3.“සචින් තෙන්ඩුල්කාර්” (Forbes India photo team)

ඉන්දීය නායකත්වයෙන් සහ ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගත්ත ද 2018 වසරේ දී ඉන්දියාවේ දෙවැනි වැඩිම ආදායම් ලබන ක්‍රීඩකයා බවට මහේන්ද්‍ර සිං දෝනි පත්වී තිබේ. දෝනි විසින් 2018 වසරේ දී උපයා ගෙන තිබෙන මුදල වන්නේ ඉන්දීය රුපියල් කෝටි 101.77කි. සමස්ත ලැයිස්තුවේ 5 වැනි ස්ථානය ද දෝනි හට හිමිවී ඇත.

හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන මේ වන විට වසර 5ක් පමණ ගතවී තිබුණ ද ඉන්දියාවේ තෙවැනි ආදායම් ලබන ක්‍රීඩකයා වීමේ වරම ඔහුගෙන් ගිලිහෙන්නට එය බාධාවක් නොවීය. ඉන්දීය රුපියල් කෝටි 80ක මුදලක් තෙන්ඩුල්කාර් විසින් මෙම වසරේ දී උපයාගෙන තිබේ. ඉන්දියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ සමස්ත ලැයිස්තුවේ 9වැනි ස්ථානය හිමිවී තිබෙන්නේ ද තෙන්ඩුල්කාර් හටයි.

මුල් 10 දෙනා අතරට කාන්තාවන් දෙදෙනෙකුත්

4.“පී. වී. සින්ධු” (Forbes India/Aditi Tailang)

2018 වසරේ ඉන්දියාවේ වැඩිම ආදායම් ලද ක්‍රීඩිකාව බවට බැඩ්මින්ටන් ක්‍රීඩිකා පී. වී. සින්ධු පත්වී ඇත. ඇය විසින් 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී කාන්තා කේවල අංශයේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මේ දක්වාම ඇයගේ ආදායම්වල ද අඩුවක් නැත.

සින්ධු විසින් මෙම වසරේ දී උපයා තිබෙන ආදායම වන්නේ ඉන්දීය රුපියල් කෝටි 36.50කි. වැඩිම ආදායම් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුවේ සිංදු හට හිමිව තිබෙන්නේ සිව්වැනි ස්ථානයයි (කෝලි, දෝනි සහ තෙන්දුල්කාර්ට පසුව).

බැඩ්මින්ටන් ක්‍රීඩිකා සයිනා නේවල් විසින් 2018 වසරේ දී ඉන්දීය රුපියල් කෝටි 16.54ක මුදලක් උපයාගෙන ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ ඇයට හිමිවී ඇති ස්ථානය වන්නේ 10වැනි ස්ථානයයි.

කෝඩුකාරයන් දෙදෙනා

5.“ජස්ප්‍රීත් බුම්රා” (ASP)

වසරේ වැඩිම ආදායම් හිමි ඉන්දීය ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුවට මෙවර අලුතෙන් ඇතුළත් වී සිටින ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ ඉන්දීය වේග පන්දුව යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රා සහ පිතිකරු මනීෂ් පාන්ඩේය. මෙම වසරේ දී බුම්රා විසින් ඉන්දීය රුපියල් කෝටි 16.42ක් සහ පාන්ඩේ විසින් ඉන්දීය රුපියල් කෝටි 13.08ක මුදලක් ඔවුන්ගේ වත්කම් වලට එකතුකරගෙන ඇත.

පාන්ඩ්‍යා 800%කින් වැඩිපුර උපයාගෙන

  1. “හර්දික් පාන්ඩ්‍යා” (Instagram/HardikPandya)

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සිය ආදායම් වැඩිම ප්‍රතිශතයකින් වර්ධනය කරගෙන තිබෙන්නේ ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා ය. ආබාධයක් හේතුවෙන් පසුගිය වසරේ දී ක්‍රීඩා කිරීමේ කාලය සහ දක්ෂතාවය මදක් පාන්ඩ්‍යා හට අහිමි විය. ඒ අනුව පසුගිය වසරේ දී ඔහුගේ ආදායම වූයේ ඉන්දීය රුපියල් කෝටි 3.04කි.

නමුත් මෙම වසරේ දී එම අගය 800%ත් වැඩි අගයකින් ඉහළ නංවා ගැනීමට පාන්ඩ්‍යාට හැකිවී තිබේ. ඔහු විසින් මේ වසරේ දී ඉන්දීය රුපියල් කෝටි 28.46ක් උපයාගෙන තිබේ.

ඉරාන කාන්තාවන්ට තහනම් “පුරුෂයන්ගේ පිටිය”

රසවිඳීම, ලොව ඕනෑම කෙනෙකුගේ අයිතියකි. එයට ස්ත්‍රී පුරුෂභාවයක් නැත. ස්ත්‍රීන්…..

තවත් ක්‍රීඩා තරු රැසක්

  1. “බොක්සිං ක්‍රීඩක විජේන්දර් සිං” (Forbes India photo team/Sameer Joshi)

2018 වසරේ වැඩිම ආදායමක් ලද ජනප්‍රිය පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 21කි. ඉහත සඳහන්ව ඇති ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ක්‍රිකට් ක්‍රීඩකයන් වන රෝහිත් ශර්මා, රවිචන්ද්‍රන් අශ්වින් සහ බුව්නේශ්වර් කුමාර්, ගොල්ෆ් ක්‍රීඩකයන් වන අනිර්බන් ලහිරි සහ ශුභාන්කර් ශර්මා, බැඩ්මින්ටන් ක්‍රීඩක ශ්‍රීකාන්ත් කිඩම්බි, බොක්සිං ක්‍රීඩක විජේන්දර් සිං, ටෙනිස් ක්‍රීඩක රෝහන් බොපන්නා ඇතුළු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත්ව ඇත.

මූලාශ්‍ර

  1. Forbes India
  2. Sports.ndtv
  3. Hindustan Times
  4. Business Today

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<