2026 IPL තරගාවලිය ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.
කෙසේ වෙතත් මෙවර IPL තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම බොහෝ ක්‍රීඩකයින් ආබාධ නිසා සහ තවත් විවිධ හේතූන් මත මෙවර තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත තත්වයකට පත් වී ඇති බවත් වරින් වර වාර්තා වුනා.
එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර IPL තරගාවලියට සහභාගී වීමට නියමිත ව සිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද, තවමත් තරගාවලියට සහභාගී වනවාද යන්න නිශ්චිත නොමැති තත්වයකයි පසු වන්නේ.
Ben Duckettට IPL තහනමක්!
ගෙවුණු දින කිහිපය මුළුල්ලේ ම විවිධ ක්‍රීඩකයින් මෙවර IPL තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත බව සටහන් වන අතරේ, එංගලන්ත ක්‍රීඩක Ben Duckett ද තමන් මෙවර තරගාවලියට සහභාගී නොවන බව ඊයේ (24) දිනයේ දී නිල වශයෙන් දැනුම් දී තිබුණා.
මෙහි දී ඔහුගේ තීරණයට හේතුව ලෙස සටහන් වී තිබුණේ තමන්ට එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා වඩාත් හොඳින් සූදානම් වීමට අවස්ථාවක් ලබා ගැනීමට අවශ්‍ය වූ බවයි.
එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් තරග රටා ත්‍රිත්වයේ ම විශිෂ්ට ආරම්භක පිතිකරුවකු ලෙස කැපී පෙනුණු Ben පසුගිය IPL ක්‍රීඩක වෙන්දේසියේ දී Delhi Capitals කණ්ඩායම සමඟින් එක් වුනා. මෙවර තරගාවලියේ දී Delhi වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමේ වගකීම Ben Duckett හෝ පැතුම් නිස්සංක යන දෙදෙනාගෙන් එක් අයකුට පැවරීමට ඉහළ අවස්ථාවක් තිබූ අතර, වත්මන් තත්වය අනුව පැතුම් නිස්සංකට කිසිදු තරගයකින් තොරව එම ස්ථානයට පිවිසීමේ අවස්ථාව හිමි වනු ඇති.
කෙසේ වෙතත් Duckettගේ මෙම තීරණය ඔහුට වසර දෙකක් සඳහා IPL තහනම් කිරීමට හේතු වුනා.
කෙටි කාලීන දැනුම් දීමක් සමඟ IPL කොන්ත්‍රාත්තු කඩ කරන විදෙස් ක්‍රීඩකයින්ට වසර දෙකක IPL තහනමක් ලබා දීමට තරග සංවිධායකයින් විසින් තීරණය කර ඇති අතර, මීට පෙර Duckettගේ කණ්ඩායම් සගයකු වන Harry Brook හට ද මෙවැනි ම තහනමක් නියම කෙරුණා. එහි දී Brook ද Delhi Capitals සමඟ ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාවකුයි මග හැර තිබුණේ.
ක්‍රීඩකයින් සහ ආබාධ
මෙවර IPL තරගාවලියට සහභාගී වීමට නියමිත ව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් යුගලයක් වන මතීෂ පතිරණ සහ වනිඳු හසරංග නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානය අතර තුර ආබාධවලට ලක් වුනා. එම ආබාධ තත්ව තවමත් සම්පූර්ණයෙන්ම සුව නොවීම නිසා සහ ඔවුන්ට IPL තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නිල අනුමැතිය (NOC) හිමි නොවීම මත ඔවුන්ගේ සහභාගීත්වය තවමත් තහවුරු වී නැහැ.
කෙසේ වෙතත් මීට අමතරව Kolkata Knight Riders කණ්ඩායම නියෝජනය කරන Harshit Rana සහ Akash Deep දෙදෙනා ම ආබාධ තත්ව නිසා සම්පූර්ණ තරගාවලියෙන් ම ඉවත් වී තිබෙනවා.
එමෙන්ම Chennai Super Kings කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත ව සිටි Nathan Ellis, Rajasthan Royals නියෝජනය කිරීමට නියමිත ව සිටි Sam Curran, Sunrisers Hyderabad කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත ව සිටි Jack Edwards මෙවර තරගාවලියට සහභාගී නොවන බව මේ වන විට තහවුරු වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවෙන් දරුණු පහරක්
මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම මෙවර තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත තත්වයකට පත් වී තිබෙනවා.
ඔවුන් තවමත් නිල වශයෙන් තරගාවලියෙන් ඉවත් වී නොමැති නමුත්, ඔවුන්ගේ සහභාගීත්වය ද තවමත් තහවුරු වී නැහැ.
Royal Challengers Bangalore කණ්ඩායමේ Josh Hazlewood, Sunrisers Hyderabad කණ්ඩායම් නායක Pat Cummins, Delhi Capitals කණ්ඩායමේ Mitchell Starc, Lucknow Super Giants කණ්ඩායමේ Josh Inglis මෙන්ම Chennai Super Kings ක්‍රීඩක Matthew Short ද තවමත් සිය සහභාගීත්වය තහවුරු කර නැහැ. ඔවුන් ආබාධ තත්වවලට ගොදුරු වීම සහ තවත් විවිධ හේතු මේ වෙනුවෙන් දක්වා තිබෙනවා.
PSL දෙකට, IPL එකට
IPL සඳහා සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින් එකා බැගින් ආබාධවලට ලක් වන අතරේ, ඒ වෙනුවට වෙනත් ආදේශක ක්‍රීඩකයින් සොයා යෑමට IPL කණ්ඩායම්වලට සිදු වී තිබෙනවා.
මෙහි දී පාකිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වන PSL තරගාවලිය සමඟ ගිවිසුම් ගත වී සිටි ක්‍රීඩකයින් කෙරෙහි IPL කණ්ඩායම් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
එහි පළමු ගොදුර ලෙස සිම්බාබ්වේ කණ්ඩායමේ Blessing Muzarabani නම් කළ හැකි. Muzarabani විසින් මීට පෙර PSL තරගාවලියේ Islamabad United කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගත වී සිටියා. කෙසේ වෙතත් KKR කණ්ඩායම Mustafizur Rahmanගේ ඉවත් කිරීමෙන් පසුව ඇති වූ පුරප්පාඩු පිරවීමේ අවස්ථාව පසුව ඔහුට හිමි වුනා.
කෙසේ වෙතත් මෙම ගැටලුව තවත් උත්සන්න වුනේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක Rajasthan Royals කණ්ඩායමත් සමඟ එක් වීමෙන් පසුවයි.
දසුන් විසින් Lahore Qalandars කණ්ඩායම අත් හැර RR සමඟ එක් වීමට පසුගිය දා එකඟ වූ අතර, මේ වන විට දසුන් RR කණ්ඩායම සමඟ එක් වී අවසානයි. දසුන් Sam Curran වෙනුවටයි RR සමඟින් එක් වන්නේ.
දසුන්ගෙන් හිස් වන ස්ථානය ඕස්ට්‍රේලියාවේ Daniel sams හට හිමි වී ඇති අතර, මෙය පාකිස්තාන ක්‍රිකට් වෙත බරපතළ ගැටලුවක් බවට ද පත් වී තිබෙනවා.
“අපි මේ ක්‍රීඩකයින්ට විරුද්ධව නීතිප්‍රකාරව ක්‍රියාමාර්ග ගන්නවා. පසුගිය වසරේත් මේ වගේම සිදුවීමක් වුනා. (දකුණු අප්‍රිකානු ක්‍රීඩක Corbin Bosch PSL අත් හැර IPL සමඟ එක් වූ අතර, ඔහුට වසරක කාලයකට PSL තහනම් කෙරුණා.)”
පාකිස්තාන ක්‍රිකට් සභාපති Moshin Naqvi එසේ සඳහන් කරනවා.
මේ අතර එම ක්‍රීඩකයින්ට අමතරව PSL සමඟ ගිවිසුම් ගත වී සිටි Gudakesh Motie, Jake Fraser-McGurk, Ottneil Baartman මෙන්ම Spancer Jhonson ද පසුව සිය පෞද්ගලික හේතු දක්වමින් PSL තරගාවලියෙන් ඉවත් වන බව දැනුම් දී තිබුණා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ තත්වය
මෙවර IPL තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම සහභාගී වීමට නියමිතයි.
ඒ අතුරින් Sunrisers Hyderabad කණ්ඩායම නියෝජනය කරන එශාන් මාලිංග සහ කමිඳු මෙන්ඩිස් යුගලයටත්, Delhi Capitals නියෝජනය කරන පැතුම් නිස්සංක සහ දුශ්මන්ත චමීර යුගලයටත්, ඊට අමතරව PSL හැර දමා රාජස්තානය සමඟ එක් වන දසුන් ශානකටත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් IPL ක්‍රීඩා කිරීමේ අවසරය (NOC) ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් Lucknow Super Giants සමඟ එක් වීමට බලා හිඳින වනිඳු හසරංග, Kolakata Knight Riders සමඟ එක් වීමට නියමිත මතීෂ පතිරණ මෙන්ම වත්මන් IPL ශූරයින් වන Royal Challengers Bangalore සමඟ එක් වීමට නියමිත නුවන් තුශාර වෙත ද තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය හිමි වී නැහැ. ඔවුන් IPL සමඟ එක් වීමට නම් ඊට පෙර යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිට ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය ලබා ගත යුතු වනවා.
මේ අතර PSL අත් හැර දැමූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Gudakesh Motie වනිඳු හසරංගගේ ආදේශක ක්‍රීඩකයා වීමට යම් ඉඩක් පවතින බවත් නිල නොලත් අයුරින් වාර්තා වනවා.
මෙහි දී මතීෂ පතිරණ සිය ආබාධය සුව වී IPL තරගාවලිය අතර මැද හෝ තමන් සමඟ එක් වනු ඇතැයි බලාපොරොත්තු තබා ගෙන Kolkata Knight Riders කණ්ඩායම බලා සිටින බව ද වාර්තා වනවා.
අමතර කරුණු
2026 IPL තරගාවලිය එළඹෙන මාර්තු මස 28 වැනි දා සිට ආරම්භ වීමට නියමිතයි.
මෙය 19 වැනි IPL තරග වාරය වන අතර, තරගාවලියේ මුල් තරග 20 සඳහා වන තරග කාල සටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙවර තරගාවලියේ ආරම්භය වත්මන් ශූරයින් වන Royal Challengers Bangalore සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර තරගයෙන් සනිටුහන් වනු ඇති.
2026 IPL තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















