මේ වන විට ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඇති වී තිබෙන ක්‍රිකට් මතවාදී තත්වයන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට සැලකිය යුතු මට්ටමේ බලපෑමක් සිදු කරමින් සිටිනවා.
එමෙන්ම මෙම කාල සීමාව තුළ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන මතවාදී ගැටුම් ද නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවධානයට ලක් වීමට පටන් ගෙන ඇති අතර, මීට අමතරව මෙම ගැටලු මේ වන විට වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් වෙත පවා ඇදී ගොස් ඇති බවට මත පළ වෙමින් තිබෙනවා.
මෑත කාලීන ව ඉන්දියාව හේතු කර ගනිමින් ඇති වූ මෙම සිදුවීම් සියල්ල පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහතින්;
Mustafizurගේ IPL පලහිලව්ව
බංග්ලාදේශ ක්‍රීඩක Mustafizur Rahman එළඹෙන IPL තරගාවලියේ දී Kolkata Knight Riders කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගත වන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දීයි. කෙසේ වෙතත් ඉන් ටික කලකට බංග්ලාදේශයේ සිටින හින්දු ජාතිකයින්ට යම් අඩන්තේට්ටම් සිදු වන බව පවසා, එම නිසා වහාම Mustafizur KKR කණ්ඩායමෙන් ඉවත් කළ යුතු බවට ඉන්දීය ආගමික සහ දේශපාලනික නායකයින් හඬ නැගීමට පටන් ගත්තා.
ඉන් සීමිත කාලයකට පසුව මෙම වසර මුල දී BCCI විසින් Mustafizur කණ්ඩායමෙන් ඉවත් කරන ලෙස KKR වෙත දන්වා තිබූ අතර, ඒ අනුව Kolkata Knight Riders කණ්ඩායම සමඟ IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට Mustafizurට තිබූ අවකාශය එසේ අහිමි වී ගියා.
කෙසේ වෙතත් KKR විසින් මේ වෙනුවෙන් කිසිදු පැහැදිලි හේතුවක් සඳහන් කර තිබුණේ නැහැ.
බංග්ලාදේශය ඉන්දියාවට ප්‍රති උත්තර දෙයි
මෙම සිදුවීම බංග්ලාදේශ පාර්ශවයට ඉතා තදබල පහරක් වූ බව නොඅනුමානයි. එය ඔවුන්ගේ ගෞරවය සම්බන්ධය ගැටලුවක් දක්වා ඇදී ගිය බවත් විශ්වාස කළ හැකි අතර, මෙහි දී බංගලි රජය විසින් සඳහන් කළේ මෙම ඉවත් කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත්, එමගින් තම ජනතාවට කනගාටුවක් සහ තරහවක් පමණක් ඇති වූ බවයි.
එතැනින් ද නතර නොවුනු ඔවුන් 2026 IPL තරගාවලිය බංග්ලාදේශය තුළ විකාශනය වාරණය කිරීමේ තීරණයක් ද නිකුත් කළා.
එමෙන්ම Mustafizur හට IPL ක්‍රීඩා කිරීම සඳහා ලබා දුන් අවසරය ද (NOC) ඉවත් කර ගැනීමට බංග්ලාදේශය කටයුතු කළ අතර, ඒ අනුව වෙනත් IPL කණ්ඩායමකට Mustafizur අවශ්‍ය වුනත්, නැවත ඔහුට IPL ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවනු (බංග්ලාදේශයෙන් අවසර නොලැබේ නම්) ඇති.
ඉන් පසුව බංග්ලාදේශය විසින් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී තමන්ට ඉන්දියාවේ දී ක්‍රීඩා කළ නොහැකි බව ICC වෙත නිල වශයෙන් දැනුම් දුන්නා.
මෙහි දී ඔවුන් තම ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් තම තරග කාලසටහන වෙනස් කරන මෙන් ඉල්ලීම් සිදු කළත්, ICCයෙන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් හිමි වුනේ නැහැ. එමෙන්ම මේ වෙනුවෙන් තවමත් සාකච්ඡා සිදු වෙමින් පවතිනවා.
මේ අතර බංග්ලාදේශය විසින් සිය ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව පැහැදිලි කරුණක් වුවත්, පාකිස්තානය ද බංග්ලාදේශය සඳහා තරග සත්කාරකත්වය ලබා දීමට කැමැත්තෙන් පසු වන බව සඳහන් කර තිබුණා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ගැටලුව 19න් පහළටත් ඇවිත්?
මේ අතර ඊයේ (17) දිනයේ දී බංග්ලාදේශ සහ ඉන්දීය 19න් පහළ කණ්ඩායම් ලෝක කුසලාන තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කළා.
මෙම තරගය ආරම්භ කරමින් කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාවේ දී ඒ වෙනුවෙන් සහභාගී වූ ඉන්දීය සහ බංගලි නායකයින් අතට අත දීමෙන් වැළකී සිටීම ද ක්‍රිකට් ලෝකය නැවතත් කැලඹීමට හේතුවක් වුනා.
මෙහි දී ඉන්දීය නායක Ayush Mhatre සහ බංග්ලාදේශ නායකයා වෙනුවෙන් පිටියට පිවිසුණු උප නායක Zawad Abrar අතර මෙම සිදුවීම වූ නමුත්, තරගයෙන් අනතුරුව දෙපාර්ශ්වයම අතට අත දෙමින් සුහද ස්වරූපයකින් තරගය අවසන් කළා.
කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව මේ පිළිබඳ සඳහනක් කළ BCB පවසා සිටියේ එය නොදැනුවත්ම සිදුවූවක් බවයි. කෙසේ වෙතත් ඉන්දියාවෙන් මේ වන තෙක් මේ පිළිබඳ කිසිදු සඳහනක් වී නැහැ.
ඉන්දියාව පාර්ශවයෙන් මෙවන් සිදුවීම් පසුගිය කාලයේ නිතර සිදු වූ අතර, බොහෝ විට එවිට ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස පාකිස්තානය අනෙක් පාර්ශවයේ රැඳී සිටියා. කෙසේ වෙතත් මෙවන් සිදුවීමක් ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මෑතක සිදු වුනේ නැහැ.
බංග්ලාදේශය ඇතුළෙත් ගිනි!
ඉන්දියාව සම්බන්ධ සිදුවීම් රැසක් අතරේ, බංග්ලාදේශය තුළ ද අභ්‍යන්තර ක්‍රිකට් අර්බුද කිහිපයක් ම පසුගිය දින කිහිපයේ සිදු වුනා.
මෙම සිදුවීම්වලට හේතුව ලෙස බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කල Nazmul islam විසින් බංගලි ක්‍රීඩකයින් අලලා සිදු කළ ප්‍රකාශයක් සඳහන් කළ හැකි.
එහි දී ඔහු විසින් බංගලි ක්‍රීඩකයින් වෙනුවෙන් මෙතෙක් කල් සිදු කළ වියදම් පිළිබඳ අදහස් පළ කළ අතර, ක්‍රීඩකයින් කිසිදු සැලකිය යුතු දස්කමක් නොදැක්වීම නිසා එම මුදල් ඔවුන් නැවත බංග්ලාදේශ ක්‍රිකට් වෙත ගෙවිය යුතු බව අඟවන ප්‍රකාශයක් ඔහු සිදු කළා.
මෙය බංග්ලාදේශ ක්‍රිකට් අභ්‍යන්තරය උණුසුම් කළ අතර, බංග්ලාදේශ ක්‍රිකට් විසින් විශේෂ සඳහනක් කරමින් එය ඔහුගේ පෞද්ගලික ප්‍රකාශයක් පමණක් බව අවධාරණය කළා.
මේ සමඟ බංගලි ක්‍රීඩකයින් Islam වහාම සිය තනතුරින් ඉල්ලා අස් විය යුතු බව පවසා ක්‍රිකට් ක්‍රීඩා කිරීම වර්ජනය කිරීමට පියවර ගත් අතර, එය බංග්ලාදේශ දේශීය ක්‍රිකට් පිටියට මෙන්ම BPL තරගාවලියට ද බලපෑම් එල්ල කළා. ඒත් සමඟින් ම BCB විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි Islam තනතුරින් නෙරපා දැමීමට කටයුතු කළා.
ඉන්දියාවට එන්න අමාරු කරන Visa ප්‍රශ්නය
මේ අතරම බංග්ලාදේශයට පමණක් ක්‍රිකට් රසිකයින්ගේ අවධානය තනිව ලබා ගැනීමට ඉඩ නොදුන් ඉන්දියාව නැවතත් කරළියට පැමිණෙන්නේ ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩක Ali Khan සිය සමාජ මාධ්‍ය ගිණුමක තැබූ සටහනක් නිසායි.
ඔහු සඳහන් කළ පරිදි එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානට සහභාගී වීමට නිමිත්තෙන් අයැදුම් කළ වීසා ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප වී තිබුණා.
මෙය ඔහුට පමණක් නොව පාකිස්තාන සම්භවයක් ඇති අනෙක් ඇමරිකානු ක්‍රීඩකයින්ට ද අදාළ ගැටලුවක් බව සටහන් වුනා.
ඒ අනුව Ali Khan, Shayan Jahangir, Mohammad Moshin සහ Eshan Ali යන ක්‍රීඩකයින්ගේ නම් ද මෙම ගැටලුවට ඈඳුණා.
කෙසේ වෙතත් මේ පිළිබඳ නිල නිවේදනයක් ඉන්දියාව පාර්ශවයෙන් සිදු වූ අතර, එහි දී ඔවුන් අවධාරණය කළේ වීසා ප්‍රතික්ෂේප වීමක් මෙහි දී සිදු නොවුනු අතර, එම වීසා අනුමත කිරීම සඳහා අමතර කාලයක් ගත වන බවයි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කලක පටන් පවතින දේශපාලන අර්බුද නිසා ඉන්දියාව විසින් පාකිස්තානය සම්බන්ධ වීසා අනුමත කිරීමේ දී අතිරේක පරීක්ෂණ සිදු වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම ගැටලුව ඇමරිකාවට පමණක් නොව එංගලන්තයට ද ඇති වූ අතර, එංගලන්තය නියෝජනය කරන Adil Rashid සහ Rehan Ahmed හට ද මේ අයුරින් ම වීසා ප්‍රමාද වීමේ ගැටලුවකට මුහුණ දීමට සිදු වුනා.
ගෙවුණු දින කිහිපයේ ඉන්දියා සහ බංග්ලාදේශ ක්‍රිකට් ආශ්‍රිතව ඇති වූ ගැටලු සියල්ල සැකෙවින් එසේයි. කෙසේ වෙතත් මේ වන විටත් බංග්ලාදේශයේ ලෝක කුසලාන සහභාගීත්වය පිළිබඳ නිල තීරණයක් ලැබී නැහැ. එම තීරණය ලෝක ක්‍රිකට් පිටියට සහ එළඹෙන ලෝක කුසලානයට කෙසේ බලපෑම් සිදු කරාවි ද යන්න මේ වන විටත් කතාබහට ලක් වෙමින් පවතිනවා.
ඒ ඇතුළු දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















