මහනුවර සහ කොළඹ උතුරට ජයග්‍රහණය

Prima U15 Sri Lanka Youth League 2024

249
Prima U15 Sri Lanka Youth League 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය අද (21) නිමා වූ අතර එහි දී මහනුවර කණ්ඩායම සහ කොළඹ දකුණ කණ්ඩායම් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මහනුවර සහ ගාල්ල අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගාල්ල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට තෝරා ගත්ත ද ඔවුන්ට එහි වාසිය ලබා ගැනීමට හැකි වූයේ නැහැ. ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 73කට දැවී යනවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ තියෝන් හේලික. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගන්නවා. ඔහු නායක සඳරු මල්ශාන් (3) එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 27කට මුහුණ දෙමින් ලකුණු 27ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වූ අතර එය එම ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව බවට ද පත් වුනා.

ලකුණු ලබා ගැනීමේ දී ආරම්භක පිතිකරු රවීන් සචින්ත පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගැනීමට සමත් වුනා. ඔවුන් දෙදෙනාට හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ප්‍රතිවාදීන් ඉඩ ලබා දුන්නේ නැහැ.

එහි දී කුසල් බණ්ඩාර ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ වැඩි වැඩ කොටසක් කළ අතර චනුල් කොඩිතුවක්කු කඩුලු 2ක් ද, සහන් විමුක්ති, විහඟ නෙතුසර සහ සනිතු ගුණතිලක කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ගේ ඉනිම ද එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ට ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගැනීමට කඩුලු 7ක් බිලි දීමට සිදු වූ අතර ඒ වෙනුවෙන් පන්දුවාර 28ක් ද වැය ව තිබුණා.

ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 10ක් වෙද්දී දවා ගැනීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වුනා. අනතුරු ව 3 වැනි කඩුල්ලට පන්දු 42ක දී ලකුණු 28ක සබඳතාවක් එක් කිරීමට සනිරු අනුහස් සහ සනිතු ගුණතිලක සමත් වීමත් සමගින් තරගයේ පාලනය ඔවුන් වෙත හිමි වුනා. එම ලකුණු සබඳතාව එම ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව බවට ද පත් වුනා.

එහි දී සනිරු අනුහස් පන්දු 29ක දී ලකුණු 6ක් ද සහ සනිතු ගුණතිලක පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ලබා ගැනීමට ද සමත් වුනා.

අනතුරු ව ලකුණු 7ක් තුළ තවත් කඩුලු 3ක් දවා ගනිමින් නැවත තරගයේ පාලනය ගාලු ක්‍රීඩකයන් ලබා ගත්තා. එසේ වෙද්දී මහනුවර ඉනිම කියැවුණේ කඩුලු 6ක් දැවී ලකුණු 44ක් ලෙසයි.

කෙසේ වෙතත් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 11ක සබඳතාවක් එක් කරමින් ඉමේෂ් දිසානායක (10) දැවී ගිය අතර තරගය අවසන් වන විට යෙනුල හේවාවිතාරණ පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 15ක් ද සහ විහඟ නෙතුසර නොදැවී ලකුණු 3ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී සඳරු මල්ශාන් ලකුණු 15කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව තරුන් වනසිංහ සහ තියෝන් හේලික කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 73 (20.4) රවීන් සචින්ත 16, තියෝන් හේලික 25, චනුල් කොඩිතුවක්කු 2/22, කුසල් බණ්ඩාර 4/11

 

මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 74 (28.0) සනිතු ගුණතිලක 16, යෙනුල හේවාවිතාරණ නොදැවී 15, තියෝන් හේලික 2/17, තරුන් වනසිංහ 2/15, සඳරු මල්ශාන් 3/15

 

මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර තරගය කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොළඹ දකුණ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ උතුර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 141ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි කොළඹ දකුණු ක්‍රීඩකයෝ තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 131ක් ලබා සිටියා.

ඉන් අනතුරු ව තරගය නැවත ආරම්භ නොවූ අතර ඒ අනුව කෙරුණ ඩක්වර්ත් ලුවිස් ගණනය කිරීම අනුව කොළඹ දකුණු කණ්ඩායමට ලකුණු 5ක ජයග්‍රහණයක් හිමි වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 43ක සබඳතාවක් එක් කිරීමට බිනෝද් සංදිල් සහ උශාන් ආදිත්‍ය සමත් වුනා.

බිනෝද් සංදිල් පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගත් අතර උශාන් ආදිත්‍ය පන්දු 30කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

ඊට අමතර ව ශසිඳු සිල්වා පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දුශේන් උදුවෙල කඩුලු 3ක් ද, මෙතුම් ප්‍රනාන්දු කඩුලු 2ක් ද සහ මහිරු කොඩිතුවක්කු, තාරුක සමිනජිත සහ චමිත කංකානම්ගේ කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අදීශ ලක්ෂාන්. ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා ගන්නවා. ඊට අමතර ව මහිරු කොඩිතුවක්කු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා ගන්නවා. කඩුලු 6ක් දැවී ලකුණු 75ක් ව තිබිය දී පිටියට පිවිසි ඔවුන් දෙදෙනා තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී පන්දු 86ක දී නොදැවුණ ලකුණු 56ක සබඳතාවක් එක් කර තිබුණා.

කඩුලු ලබා ගැනීමේ දී හිමිර කුඩාගම, ශම්මා ජොනතන් සහ ශනුක් ජයවර්ධන කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 141 (47.4) බිනෝද් සංදිල් 22, උශාන් ආදිත්‍ය 19, ශසිඳු සිල්වා 19, මෙතුම් ප්‍රනාන්දු 2/24, දුශේන් උඩුවෙල 3/18

 

කොළඹ දකුණු වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 131 (46.4) සබෝධ දෙව්තිළිණ 18, අදීශ ලක්ශාන් නොදැවී 33, මහිරු කොඩිතුවක්කු නොදැවී 22, හිමිර කුඩාගම 2/15, ශම්මා ජොනතන් 2/28, ශනුක් ජයවර්ධන 2/30

 

කොළඹ දකුණු කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 5ක ජයක්.

මෙම තරගාවලියේ හෙට (22) දඹුල්ල සහ කොළඹ දකුණු අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේදීත් මෙන් ම මහනුවර සහ කොළඹ උතුර අතර තරගය කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේදීත් පැවැත්විමට නියමිතයි.

ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලිය  පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<