කොළඹ දකුණ සහ මහනුවර අවසන් මහා තරගයට

Prima U 15 Sri Lanka Youth League 2025

120
Youth Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ලීග් තරගාවලියේ අද (26) අවසන් තරග ද්විත්වය විසඳුමකින් තොරව අවසන් වූව ද තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මහනුවර සහ කොළඹ දකුණ ක්‍රීඩකයෝ සමත් වූවා.

1 වැනි අවසන් පූර්ව තරගය

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය සඳහා ගාල්ල සහ මහනුවර කණ්ඩායම් ද්විත්ව සහභාගී වූ අතර වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 22කට සීමා වෙමින් ආරම්භ වූවා.

එලෙසින් පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාල්ල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 135ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි මහනුවර කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකි වෙන්නේ පන්දුවාර 5.4ක් පමණයි. ඒ වෙද්දී ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 27ක් පමණයි. ඒ හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර කණ්ඩායම් ද්විත්වයෙන් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියෙන් සිටි මහනුවර ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම

 

හිරුක අකලංක (නායක), හිරුන් මතීෂ, සෙතුජ මංදිනු, මොහොමඩ් ශිහාබ්, නිසිත් තේජව ද සිල්වා, ගෙසඳු බිසස්, ලිනුවර සත්විඳු (කඩුලු රකින්නා), ගයුක කවිශ්ක, චෙනුල් මින්ලක, දියත් සංජිත සහ කවීෂ ගයාශාන්,

මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම

 

ලකිඳු මෙවුල් (නායක), රන්දිදු නාරායන, උසුල උදාරක, මන්දිල් ගුණවර්ධන, සවිත විතානගේ, සනිරු අනුහස් (කඩුලු රකින්නා), තරුෂ නිමන්ත, තිනුලක රාජපක්ෂ, ශෂිත් බණ්ඩාර, ඉමන්ජිත් දිසානායක සහ ශතිර දෙනුවන්.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයන්ගේ ඉනිමේ දී ගෙසඳු බිසස් පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 55ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු හිරුන් මතීෂ පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ද සහ ඉනිම අවසන් වන විට ගයුක කවිශ්ක පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ශතිර දෙනුවන් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව තිනුලක රාජපක්ෂ සහ ලකිඳු මෙවුල් කඩුලු ද්විත්වය බැගින් ද සහ ඉමන්ජිත් දිසානායක කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ඉනිම වර්ෂාව හේතුවෙන් අතර මඟ නතර වෙද්දී ප්‍රතිවාදී ඉනිමේ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක් වූ ගෙසඳු බිසස් ලකුණු 7කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව ගයුක කවිශ්ක කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ගාල්ලවයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 135 (22.0) හිරුන් මතීෂ 24, ගෙසඳු බිසස් 55, ගයුක කවිශ්ක නොදැවී 19, තිනුලක රාජපක්ෂ 2/20, ශතිර දෙනුවන් 3/19, ලකිඳු මෙවුල් 2/27
  • මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 4ක් දැවී 27 (5.4)උසුල උදාකර නොදැවී 8, ගෙසඳු බිසස් 2/07

තරගයේ විසඳුමක් නෑ.

2 වැනි අවසන් පූර්ව තරගය

කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර පැවැති මෙම තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියෙන් සිටි කොළඹ දකුණ ක්‍රීඩකයෝ තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගී වීමට සුදුසුකම් සපුරා තිබුණා.

කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ උතුර කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිසි අතර ඔවුන්ට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ලබා ගැනීමට හැකිව තිබුණේ ලකුණු 113ක් පමණයි.

එතැන් සිට මෙම තරගය නැවත ආරම්භ කිරීමට ඔවුන්ට අවස්ථාව හිමි වෙන්නේ නැහැ.

කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම

 

මෙතුක ගුණරත්න (නායක), මෙනුර දිසානායක, මියුරු බණ්ඩාර, චෙනුක මිත්සර, ලිතුම් දේවසුරේන්ද්‍ර, රනුද රණසිංහ (කඩුලු රකින්නා), හමිඩ් අෆ්ඩාල්, ගගන් ගමගේ, සනුග දුල්මික, දෙනුවන් සතිෂ් සහ නවිනු ප්‍රනාන්දු.

කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම

මිශික අබේවර්ධන (නායක), ජනදීප ඔකාශ්, චේතිණ කාවින්ද, ගෞර මින්සර, සදිස කාවින්ද, හෆීස් ජුන්කීර් (කඩුලු රකින්නා), අබ්දුල් රහුමාන්, තිසඟ පෙරේරා, ඩිහේන් ජයතිලක, චනුත් හරදස සහ දෙසිඳු දින්සර..

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ උතුර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ චේතින කාවින්ද. ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා සිටියා

ඊට අමතර ව ආරම්භක පිතිකරු නායක මිශික අබේවර්ධන පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දෙනුවන් සතිශ් ලකුණු 11කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නවිනු ප්‍රනාන්දු සහ හමිඩ් අෆ්ඩාල් කඩුල්ලක් බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 4ක් දැවී 113 (16.0) මිශික අබේවර්ධන 29, චේතින කාවින්ද නොදැවී 55, ගෞර මින්සර 15, දෙනුවන් සතිෂ් 2/11

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ අවසන් මහා තරග මේ මස 28 වැනිදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී තරගයට පිවිසෙන්නේ කොළඹ දකුණ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම් ද්විත්වයයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<