ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කණ්ඩායම් මාරු කරයි!

56

2019/20 සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය (පළමු පෙළ එක්දින තරගාවලිය) ඊයේ (14) ආරම්භ විය. 

ගියවර අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ කණ්ඩායම වෙනස් කරමින් නව ක්‍රීඩා/ක්‍රිකට් සමාජයක් වෙත යොමු වූ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ගැන ThePapare.com තබන සටහනයි මේ.

ඩිල්ශාන් මුණවීර

වේගයෙන් පන්දුවට පහර දීමට හැකියාව තිබෙන දකුණත් පිතිකරුවෙක් වන මුණවීර කොළඹ ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් පසුගිය තරග වාරය සඳහා සහභාගී වූවත්, වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ ආබාධයකට ලක්ව සිටි නිසයි. කෙසේ නමුත් දැන් ඉන් සුවය ලබාගෙන සිටින ඔහු මෙවර අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය තුල දී මීගමුව ක්‍රිකට් සමාජය නියෝජනය කිරීමට තීරණය කර තිබේ. 

මාධව වර්ණපුර 

කොළඹ ක්‍රිකට් සමාජයෙන් වෙනත් ක්‍රීඩා සමාජයක් වෙතට ගිය තවත් ක්‍රීඩකයෙක් ලෙස මාධව වර්ණපුර හඳුන්වා දීමට හැකිය. ඔහු ද මෙවර තරග වාරය තුල දී මීගමුව ක්‍රිකට් සමාජය නියෝජනය කිරීමට සූදානමින් සිටියි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන බන්දුල වර්ණපුරගේ පුත්‍රයෙක් වන මාධව වර්ණපුර පසුගිය තරග වාරය තුල තරග 9ක් සඳහා සහභාගී වෙමින් ලකුණු 549ක් වාර්තා කළේ ලකුණු 40කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

තරිඳු කෞෂාල් 

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මුත්තයියා මුරලිදරන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් පසුව එම අඩුව පිරවීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පැමිණි තරිඳු කෞෂාල් BRC සමාජයේ සිට මුවර්ස් ක්‍රීඩා සමාජය වෙත ගොස් තිබේ. 

NCC ක්‍රීඩා සමාජය තුල දී ඉතාමත් හොඳින් දස්කම් දැක්වූ කෞෂාල්ගේ දූස්රා පන්දුව ජාත්‍යන්තර ලෙස තහනමට ලක්වූ නිසා ඔහු දේශීය ක්‍රිකට් පිටිය තුල ද දූස්රා පන්දුව භාවිතය නතර කළේය. ඒ නිසාවෙන් ඔහුට අන්තර් සමාජ තරග තුල කඩුලු ලබා ගැනීම තරමක් අපහසු වුවත් ඔහුට සැලකිය යුතු ප්‍රමාණයකින් පන්දුවට පහර දීමට ද හැකිය.

ශෙහාන් ජයසූරිය

ගියවර තරග වාරයේ දී මීගමුව ක්‍රිකට් සමාජය නියෝජනය කළ මේ දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා නැවතත් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය වෙත පැමිණ තිබේ. ඔහු මීට පෙර එම කණ්ඩායමේ නායකත්වය ද දරා තිබෙන අතර සීමිත පන්දුවාර තරග රටාව තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට හැකි ක්‍රීඩකයෙක් ලෙස ඔහුව හඳුන්වා දීමට හැකිය.

ලසිත් කෘෘස්පුල්ලේ

තවත් දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ලසිත් කෘෘස්පුල්ලේ ගෙවී ගිය සතිවල දී ක්‍රියාත්මක වූ නැගී එන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී ශතක තුනක් ලබා ගත් අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරග සඳහා ද සහභාගී වෙමින් ඉතාමත් හොඳ දස්කම් දක්වන ලදි. ගෙවී ගිය තරග වාරයේ දී මීගමුව ක්‍රිකට් සමාජය නියෝජනය කළ කෘෘස්පුල්ලේ මෙවර හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට පැමිණ ඇත.

ලහිරු මිලන්ත

සාන්ත පීතර විද්‍යාලයීය ආදී ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මිලන්ත පසුගිය දා නිමාව දුටු වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ දී ජෝන් කීල්ස් කණ්ඩායම නියෝජනය කළේය. ගියවර අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය තුල ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය නියෝජනය කළ මිලන්ත මෙවර බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර තිබේ. ඔහු ගෙවී ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් සමාන උළෙලවල අවස්ථාවන් කිහිපයක දී ම පළමු පෙළ සීමිත පන්දුවාර තරග අංශයේ හොඳම පිතිකරු සම්මානය දිනා ගත්තේය. 

රුමේෂ් බුද්ධික

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග රටාව තුල ශතක 15ක් සමඟ 44.16ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සඳහා හිමිකම් කියන රුමේෂ් බුද්ධික BRC ක්‍රීඩා සමාජයේ සිට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය වෙත පැමිණ ඇත. 

ප්‍රසන්න ජයමාන්න

ගියවර තරග වාරය තුල මීගමුව ක්‍රිකට් සමාජය දෙසින් නිතර ඇසෙන්නට වූ නමක් වුනු ප්‍රසන්න ජයමාන්න මෙවර දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග රටාව තුල ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කරනු ඇත. ගියවර තරග වාරයේ දී ශතක 4ක් සහ අර්ධ ශතක 7ක් සමඟ 55.61ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සඳහා හිමිකම් කියන ජයමාන්න දේශීය පළමු පෙළ ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතක ලාභියෙකි. 

දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා

ජාතික ක්‍රිකට් කණ්ඩායම තුල ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් වන දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග රටාව තුල මීට පෙර NCC සහ SSC කණ්ඩායම් නියෝජනය කර තිබේ. කෙසේ නමුත් මෙවර තරග වාරය තුල ඔවුන් දෙදෙනාම යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

සචිත්‍ර සේරසිංහ 

පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද එක ලෙස දස්කම් දක්වන සේරසිංහ ටැමිල් යූනියන් කණ්ඩායමේ සිට මුවර්ස් ක්‍රීඩා සමාජයට පැමිණ තිබේ. දේශීය ක්‍රිකට් පිටිය තුල දිගින් දිගටම දස්කම් දක්වමින් සිටින මොහු ජාතික කණ්ඩායම වෙනුවෙන් වරම් දිනා ගැනීමේ දොරටුව ආසන්නව සිටින තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස සැලකීමට හැකිය. 

ශිරාන් ප්‍රනාන්දු 

මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පසුගිය වර තරග වාරය තුල ඉතාමත් හොඳ දස්කම් දැක්වූ ශිරාන් මෙවර රාගම ක්‍රිකට් සමාජය වෙත පැමිණ තිබේ. ඔහු ශ්‍රී ලංකා A – බංග්ලාදේශ A තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා බවට ද පත් විය.

බිනුර ප්‍රනාන්දු 

උස දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන බිනුර ප්‍රනාන්දු ටැමිල් යූනියන් කණ්ඩායමේ සිට රාගම ක්‍රීඩා සමාජය දක්වා මෙවර තරග වාරය තුල සිය දේශීය පළමු පෙළ කණ්ඩායම වෙනස් කර ඇත. 

කමිඳු මෙන්ඩිස් 

ගියවර ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය නියෝජනය කළ තුන් ඉරියව් දස්කම් දක්වන කමිඳු මෙන්ඩිස් මෙවර දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය තුල හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් සිය දායකත්වය දැක්වීමට තීරණය කර තිබේ. වයස අවුරුදු 21ක් වන ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග දෙකක් සහ විස්සයි විස්ස තරග 4ක් වෙනුවෙන් ක්‍රීඩා කර ඇත.

උදාර ජයසුන්දර 

ගෙවී ගිය වසර කිහිපයේ දී ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි වයස අවුරුදු 28ක් වන උදාර ජයසුන්දර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් ක්‍රීඩා කළ ඇති ක්‍රීඩකයෙකි. ඔහු මෙවර රාගම ක්‍රීඩා සමාජයේ මුල් පෙළ සවිමත් කිරීමට සූදානමින් සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<