පාකිස්තානය ලංකාවේ ක්‍රීඩාංගණ කුලියට ගන්න යයි

322
Pakistan Cricket Team

ලබන ඔක්තෝබර් මාසයේදී පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සත්කාරය ලබාගැනීමට පාකිස්තානයේ අවධානය යොමු වී ඇතැයි වර්තා වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඒ සඳහා අවශ්‍ය වියදම් පිළිබඳ ඇස්තමේන්තුවක් ලබා ගැනීමට පාකිස්තානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ විස්සයි –20 තරගයක් ඇතුළත්ව පැවැත්වීමට නියමිත අදාළ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණත් එමීර් රාජ්‍යයේදී තරගාවලියක් පැවැත්වීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඊට විකල්පයක් ලෙස එම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඔවුන්ගේ අවධානය යොමු වී ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.

අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව මේ වනවිට පාකිස්තානු ක්‍රිකට් ආයතනය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යෝජනා ඉදිරිපත් කර ඇතැයි පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ඔවුන් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් බලාපොරොත්තු වන තක්සේරු වාර්තාවක් පාකිස්තානු ක්‍රිකට් ආයතනය වෙත යැවීමට කටයුතු යොදා ඇති බවද ප්‍රකාශ කළේය. තවද ලබන ඔක්තෝබර් මාසය වන විට ශ්‍රී ලංකාවේ පවතින කාලගුණික තත්ත්වයද තරගාවලිය ශ්‍රී ලංකාවේ පවත්වන්නේද? නැද්ද? යන්න තීරණය කිරීමට ප්‍රබල සාධකයක් වනු ඇති බවද ඔහු පවසයි.

පසුගිය 2009 වසරේ මාර්තු 3 වැනිදා පාකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව ලොව සෑම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක්ම පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වැළකී සිටී. එතැන් පටන් පාකිස්තානය සත්කාරකත්වය දැරූ බොහෝ තරගාවලි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට කටයුතු කළ අතර සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පමණක් එක් වතාව බැගින් අදාළ කාල සීමාව තුළ පාකිස්තානයේ සංචාරය කර ඇත.

පසුගිය පෙබරවාරි මාසයේදී පැවැති පාකිස්තානු සුපර් ලීග් තරගාවලිය ඩුබායි සහ සාජා ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර සති දෙකකට ආසන්න කාලයක් පුරා පැවැති එම තරගාවලිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක් ගෙවීමට පාකිස්තානු ක්‍රිකට් ආයතනයට සිදුව ඇත.

කෙසේ වෙතත් උක්ත කාරණා සැලකිල්ලට ගනිමින් වෙනත් ස්ථානයක තරග පැවැත්වීම උචිත යැයි පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් ගත් තීරණයක් මත එසේ ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමු වී ඇති අතර අදාළ තරගාවලිය පැවැත්වීමට යෝජිත ඔක්තෝබර් – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන මෝසම් සහිත කාලගුණික තත්ත්වයද තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේදී ශ්‍රී ලංකාවට බාධකයක්ව පවතී. තවද පසුගිය වසරේදීද ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කෙටුම්පත් සකස් කෙරුණද එම දෙපාර්ශ්වය නිසි එකඟතාවකට නොපැමිණීම හේතුවෙන් එම තරගාවලිය නොපැවැත්විණි.

තවත් පුවත් සිංහලෙන් පිවිසෙන්න