දෙවැනි දිනය අවසානයේ පාකිස්තානයට වැඩි වාසි

පාකිස්තානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

180

පාකිස්තානු A හා ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (29) අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 70 ක් රැස්කරගෙන සිටියා.

අද දිනයේ දී ද වර්ෂාව හේතුවෙන් තරගය අතරමග නවත්වන්නට විනිසුරුවන්ට සිදු වුනා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී දෙවැනි දිනයට තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 61ක් රැස් කරගෙන සිටියා.

වේගවත් පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා A කණ්ඩායමට සිය පළමු ඉනිමේ දී රැස් කිරීමට ලැබුණේ සියලු දෙනා දැවී ලකුණු 141ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් විශ්ව ප්‍රනාන්දු ලකුණු 30ක් රැස් කළේ පන්දු 48ක් පමණක් වැය කරමිනුයි. ඔහුගේ ඒ ඉනිමට හයේ පහර දෙකක් හා හතරේ පහර තුනක් අන්තර්ගත වුනා. විශ්ව ප්‍රනාන්දුට අනගි සහයක් වෙමින් ලසිත් ඇඹුල්දෙණිය හතරේ පහර පහක් සමඟින් ලකුණු 22ක් රැස් කළා. සුමින්ද ලක්ෂාන් ලකුණු 17යි.

පන්දු යැවීමේ දී පාකිස්තානය වෙනුවෙන් Naseem Shah ලකුණු 53කට කඩුලු 5ක් බිඳ දමන්නට සමත් වුනා. Khurram Shahzad ලකුණු 25කට කඩුලු 3ක් දවා ගන්නට සමත් වූ අතර Irfanullah Shah කඩුලු දෙකක් බිඳ හෙලුවා.

පාකිස්තානය වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ Abdullah Shafique හා නායක Saud Shakeel. ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ සදීර සමරවික්‍රම අතට උඩ පන්දුවක් ලබා දෙමින් Shafique ලකුණු 9කට දැවී ගියා.

අනතුරුව පිටියේ එක්වුණු Saud Shakeel හා Omair Yousuf නොබිඳුණු ලකුණු 45ක් දෙවැනි කඩුල්ලට එක් කරන්නට සමත් වුනා. නායක Saud Shakeel නොදැවී ලකුණු 35යි. Yousuf නොදැවී ලකුණු 26යි. තරගයේ තෙවැනි දිනය හෙටයි.

දෙවැනි දිනය අවසානයේ ලකුණු සටහන

  • ශ්‍රී ලංකා A පළමු ඉනිම – 141/10 (46 ov) විශ්ව ප්‍රනාන්දු 30, ලහිරු උදාර 23, ලසිත් ඇඹුල්දෙණිය 22, Naseem Shah 5/53, Khurram Shahzad 3/25
  • පාකිස්තාන A පළමු ඉනිම – 70/1 (23 ov) Saud Shakeel 35, Omair Yousuf 26, ලසිත් ඇඹුල්දෙණිය 1/22

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<