චරිත් පළමු පෙළ හොඳම ඉනිම ක්‍රීඩා කරයි

National Super League 4 day Tournament 2025

46
National Super League 4 day Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි සතියේ 3 වැනි දිනයේ දී (22) තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කිරීමට කොළඹ කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත් වෙනවා.  

  • ගාල්ල සහ කොළඹ අතර තරගය කොළඹ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් කොළඹ කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 435ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ තරගයේ 3 වැනි දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 341ක් ලබා සිටියා.

කොළඹ ක්‍රීඩකයෝ අද තරගය ආරම්භ කරන්නේ කඩුල්ලක් දැවී ලකුණු 85ක් ලබා සිටිමිනුයි. පෙර දින නොදැවී පිටියේ රැඳී සිටි ධනංජය ලක්ෂාන් ලකුණු 60කටත් සහ  අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 53කට තම ඉනිම් සීමා කර ගත්තා.

 ඔවුන් දෙදෙනා 2 වැනි කඩුල්ලට පන්දු 155ක දී ලකුණු 116ක සබඳතාවක් කොළඹ ඉනිමට එක් කරනවා.

අනතුරු ව දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වූයේ නායක චරිත් අසලංක. ඔහු දිනය අවසන් වන විට පන්දු 193කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 142ක් ලබා සිටියා. එය ඔහුගේ තරග 50ක් වන පළමු පෙළ තරග දිවියේ ඉනිමක වාර්තා කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ඔහුට අමතර ව කවින් බණ්ඩාර පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 179ක දී ලකුණු 112ක් ද එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ සහ නිසල තාරක කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර සංතුශ් ගුණතිලක සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 435 (136.2)දිනේෂ් චන්දිමාල් 132, දුනිත් වෙල්ලාලගේ 21, රමේෂ් මෙන්ඩිස් 72, නිසල තාරක 76, දිලුම් සුදීර නොදැවී 66, ධනංජය ලක්ෂාන් 5/99
  • කොළඹ– පළමු ඉනිමකඩුලු 6ක් දැවී 341 (96.0) අවිශ්ක ප්‍රනාන්දු 53, ධනංජය ලක්ෂාන් 60, චරිත් අසලංක නොදැවී 142, කවින් බණ්ඩාර 40, නිසල තාරක 2/69, දුනිත් වෙල්ලාලගේ 2/46

මෙම තරගය හෙට (23) අවසන් සහ සිව් වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

  • දඹුල්ල සහ යාපනය අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 418ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ තරගයේ 3 වැනි දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 264ක් ලබා සිටියා.

අද ඔවුන් තම ඉනිම ආරම්භ කරන්නේ කඩුල්ලක් දැවී ලකුණු 54ක් ලබා සිටියදීයි. පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි නිශාන් මධුශ්ක ලකුණු 24කට තම ඉනිම අවසන් කර ගනිද්දී දිනුර කළුපහන ලකුණු 55ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම පන්දු 106කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 5ක් එක් ව තිබුණා.

ඊට අමතර ව සම්මු අශාන් පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තා.

දිනය අවසන් වන විශාද් රන්දික පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ද සහ චමිඳු විජේසිංහ පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ඉසිත විජේසුන්දර සහ නිමේෂ් විමුක්ති කඩුලු ද්විත්වය බැගින් ද අසංක මනෝජ් සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • යාපනය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 418 (107.0) රවිඳු රසාන්ත 120, තනුක දාබරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 64, ජනිත් ලියනගේ නොදැවී 79, නිරෝෂන් දික්වැල්ල 70, දුලාජ් සමුදිත 3/88,අකිල ධනංජය 3/164
  • දඹුල්ල– පළමු ඉනිම කඩුලු 6ක් දැවී 264 (82.0) නිශාන් මධුශ්ක 24, රොන් චන්ද්‍රගුප්ත 20, දිනුර කළුපහන 55, සම්මු අශාන් 71, විශාද් රන්දික නොදැවී 42, චමිඳු විජේසිංහ නොදැවී 26, ඉසිත විජේසුන්දර 2/52, නිමේෂ් විමුක්ති 2/74

මෙම තරගය හෙට (23) අවසන් සහ සිව් වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<