නිශාන් සහ කවින් ශතක රැස් කරයි

National Super League 4-Day Tournament 2026

1

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග අද (9) අවසන් වූ අතර පැවැති එම තරග ද්විත්වය ම නිමා වූයේ විසඳුමකින් තොරව අවසන් වෙමින්.  

අගනුවර ක්‍රීඩකයන්ගෙන් සාර්ථක හඹා යෑමක්

 ගාල්ල සහ මහනුවර අතර තරගය, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 260ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 209ක් පමණයි.   

ලකුණ් 51ක් පිටුපස සිටිමින් 2 වැනි ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තරගය 3 වැනි දිනයට නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 206ක් ලබා සිටි අතර ඔවුන්ගේ ඉනිම අද ලකුණු 262කට සීමා වෙනවා.  

එහි දී පෙර දින නොදැවී පිටියේ රැඳී සිටි දිලුම් සුදීර පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී චාමික කරුණාරත්න කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව දුලාජ් සමුදිත සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු ද්විත්වය බැගින් ද දවා ගන්නවා.   

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 314ක හඹා යන ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගය අවසන් වෙද්දී කඩුලු 9ක් දැවී ලබා සිටියේ ලකුණු 229ක් පමණයි.  

එම ඉනිම ආරම්භ කළ ලහිරු උදාර සහ සොහාන් ද ලිවේරා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 68ක දී ලකුණු 62ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ලහිරු උදාර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටියා.  

සොහාන් ද ලිවේරා 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.  

ඔවුන් ඒ ලෙසින් තම ඉනිම් අවසන් කර ගනිද්දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූවේ පවන්ත වීරසිංහ. ඔහු පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී අසංක මනෝජ් ලකුණු 60කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී, ඉසිත විජේසුන්දර සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු ද්විත්වය බැගින් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ගාල්ල – පළමු ඉනිමසියලුම දෙනා දැවී 260 (80.2) ඔෂද ප්‍රනාන්දු 84, පසිඳු සූරියබණ්ඩාර 33, රමේෂ් මෙන්ඩිස් 70, ඉසිත විජේසුන්දර 27, දුලාජ් සමුදිත 3/51, චාමික ගුණසේකර 5/45, ජෙෆ්රි වැන්ඩර්සේ 2/39 
  • මහනුවර පළමු ඉනිම සියලුම දෙනා දැවී 209 (58.2) සම්මු අශාන් 52, අශේන් බණ්ඩාර 28, සොහාන් ද ලිවේරා 20, චාමික කරුණාරත්න 34, ඉසිත විජේසුන්දර 5/56, අසංක මනෝජ් 2/47 
  • ගාල්ල – දෙවැනි ඉනිමසියලුම දෙනා දැවී 262 (95.0) සදීර සමරවික්‍රම 76, ඔෂඳ ප්‍රනාන්දු 55, දිලුම් සුදීර 56, චාමික කරුණාරත්න 3/28, දුලාජ් සමුදිත 2/42, ජෙෆ්රි වැන්ඩර්සේ 2/57 
  • මහනුවර- දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 229 (55.0) ලහිරු උදාර 41, සොහාන් ද ලිවේරා 28, පවන්ත වීරසිංහ 61, අශේන් බණ්ඩාර 20, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 23, ඉසිත විජේසුන්දර 2/34, අසංක මනෝජ් 3/60, රමේෂ් මෙන්ඩිස් 2/26 

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ගාල්ල කණ්ඩායමට.)  

දඹුල්ල සහ කොළඹ අතර තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත් අතර ඒ අනුව ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 408ක් ලබා ගන්නවා.   

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයෝ තරගය 3 වැනි දිනයට නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 366ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ ඉනිම 390ක් වෙද්දී අවසන් වූවා.  

පෙර දිනයේ ලකුණු 52ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටි නායක චරිත් අසලංක නායකත්වයේ ඉනිමක නිරත වෙමින් අවසන් කඩුල්ලට දැවී යද්දී පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී ශක්ති උදාර ලකුණු 97කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව අකිල දනංජය කඩුලු 3ක් ද සහ කවිඳු පතිරත්න කඩුලු 2ක් ද දවා ගන්නවා.  

පළමු ඉනිමේ වාසිය සහ ලකුණු 18ක් ද ඉදිරියෙන් සිටිමින් 2 වැනි ඉනිමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 266ක් ලබා සිටියා.  

එම ඉනිම ආරම්භ කළ නිශාන් මදුශ්ක සහ තනුක දාබරේ පළමු කඩුල්ලට පන්දු 135ක දී ලකුණු 81ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ තනුක දාබරේ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.  

තරගය නතර කරන විට නිශාන් මදුශ්ක සහ කවින් බණ්ඩාර එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 322ක දී නොදැවුණ ලකුණු 185ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී නිශාන් මදුශ්ක පන්දු 232කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 107ක් ලබා ගන්නවා.  

මෙම ශතකය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 17 වැනි ශතකය වන අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ තරග දිවියේ ලකුණු 6000 කඩඉම පසු කිරීමට ද සමත් වෙනවා.  

කවින් බණ්ඩාර පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 3 වැනි ශතකයයි.  

ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය දුශාන් හේමන්ත සතු වුණා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • දඹුල්ල – පළමු ඉනිමසියලුම දෙනා දැවී 408 (120.0) නිශාන් මදුශ්ක 97, තනුක දාබරේ 56, කවින් බණ්ඩාර 25, අංජල බණ්ඩාර 95, කවිඳු පතිරත්න 49, අකිල දනංජය නොදැවී 26, චමෝද් බට්ටගේ 2/57, ප්‍රභාත් ජයසූරිය 3/110, ජනිත් ලියනගේ 2/28 
  • කොළඹ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු8ක් දැවී 366 (113.0) රවිඳු රසාන්ත 69, තරිඳු අමරසිංහ 52, ධනංජය ලක්ෂාන් 53, ප්‍රභාත් ජයසූරිය 54, ජනිත් ලියනගේ 47, චරිත් අසලංක 67, කවිඳු පතිරත්න 2/68, අකිල දනංජය 3/90, ශක්ති උදාර 4/97 
  • දඹුල්ල- දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 266 (76.0) නිශාන් මදුශ්ක නොදැවී 107, තනුක දාබරේ 44, කවින් බණ්ඩාර නොදැවී 100 

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය දඹුල්ල කණ්ඩායමට) 

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<