නවසීලන්තයට ඉන්දියාවෙන් ඉතිහාගත පරාජයක්

නවසීලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2021

303
24 News

ලෝක ටෙස්ට් ශූර නවසීලන්තය සමඟ මුම්බායි නුවර Wankhede ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය පරදවා ලකුණු 372ක ජයක් ලබා ගන්නට ඉන්දීය ක්‍රීඩකයන් සමත් වුනා. ඒ අනුව 1-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කරන්නට ඉන්දියාව සමත් වුනා.

මෙය නවසීලන්ත කණ්ඩායමක් ටෙස්ට් තරගයක දී වැඩිම ලකුණු පරතරයකින් ලැබූ පරාජය බවට ඉතිහාසගත වූ අතර මෙම ජයග්‍රහණය නිසාවෙන් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවසීලන්තය අභිබවා පෙරමුණට පැමිණීමට ද ඉන්දියාව සමත් වීම කැපී පෙනුණා.

තරගයේ තීරණාත්මක වූ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඉන්දියාව සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 109.5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 325ක් රැස්කළා.

ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ කොඳු නාරටිය බවට පත් වූ ආරම්භ පිතිකරු Mayank Agarwal අගනා ශතකයකින් සිය නැවත පැමිණීම සනිටුහන් කරමින් ලකුණු 150ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් Axar Patel ලකුණු 52ක් සහ Shubman Gill ලකුණු 44ක් රැස් කිරීමට සමත් වුනා.

ඉන්දීය පළමු ඉනිම පුරාවට සිය ආධිපත්‍ය පැතිර වූ ඉන්දීය සම්භවයක් සහිත නවසීලන්ත ක්‍රීඩක Ajaz Patel ඉන්දීය පළමු ඉනිමේ කඩුලු සියල්ල දවා ගැනීමට සමත් වුනේ එක් ඉනිමක කඩුලු 10ක් දවා ගත් තෙවැනි පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක් වෙමිනුයි.

නවසීලන්ත පළමු ඉනිමේ දී පිතිකරුවන්ට ඉන්දීය පන්දු යැවීමේ බලය පෙන්නුම් කළ Ravichandran Ashwin පන්දු යවන්නන් සිය මව්බිමේ දී නවසීලන්ත පිතිකරුවන් අසරණ කරමින් නවසීලන්ත පළමු ඉනිම ලකුණු 62කට සීමා කළා.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Kyle Jamieson ලකුණු 17ක් රැස්කළ අතර පන්දු යැවීමේ දී Ravichandran Ashwin කඩුලු 4kක්, Mohammed Siraj කඩුලු තුනක් සහ පන්දු යැවීමෙන් ද සාර්ථක වූ Axar Patel කඩුලු දෙකක් බිඳ හෙලුවා.

ලකුණු 263ක වාසියක් සහිතව සිය දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දීය ක්‍රීඩකයන් පන්දුවාර 70ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 276ක් රැස්කර සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර තරගයේ ජයග්‍රහණය සඳහා නවසීලන්තයට ලැබූ ඉලක්කය 540ක්.

පළමු ඉනිමේ දී ලබා ගත් රිද්මය දෙවැනි ඉනිමේ දී ද පවත්වා ගත් Mayank Agarwal ලකුණු 62ක් රැස්කළ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් Cheteshwar Pujara ලකුණු 47ක් රැස්කරමින් පළමු කඩුල්ල සඳහා පිහිටවූ සම්බන්ධතාව ලකුණු 107ක්.

ඔවුන්ට අමතරව Shubman Gill ලකුණු 47ක් සහ Virat Kohli ලකුණු 36ක් රැස්කිරීමට සමත් වූ අතර දෙවැනි ඉනිමේ ද පිතිකරණයෙන් සිය උපරිමය කණ්ඩායමට ලබා දුන් Axar Patel නොදැවී ලකුණු 41ක් රැස් කළා.

මෙම ඉනිමේ ද පන්දු යැවීමෙන් සාර්ථක වූ Ajaz Patel ලකුණු 106කට කඩුලු 4ක් දවා ගනිද්දී, තවත් ඉන්දීය සම්භවයක් ඇති ක්‍රීඩකයෙකු වන Rachin Ravindra ලකුණු 56ට කඩුලු 3ක් බිඳ හෙලුවා.

පෙර ඉනිමේ දී මෙන්ම මෙම ඉනිමේත් නවසීලන්ත පිතිකරුවන් අසරණ කළ ඉන්දීය දඟපන්දු යවන්නන්ගේ අභියෝගය හමුවේ පන්දුවාර 56.3ක් අවසානයේ නවසීලන්තයට ලබා ගන්නට හැකි වුනේ ලකුණු 167ක් පමණයි.

නවසීලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ Daryl Mitchell ලකුණු 60ක් රැස්කිරීමට සමත් වූ අතර Henry Nicholls ලකුණු 44ක් සහ Will Young ලකුණු 40ක් රැස්කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී Ravichandran Ashwin ලකුණු 34කට කඩුලු 4ක් සහ Jayant Yadav ලකුණු 49කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර Axar Patel ලකුණු 42කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ සමඟ ලකුණු 372කින් තරගය ජය ගනිමින් ඉතිහාසගත ජයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයන්ට හැකි වූ අතර මුළු තරගයේ බිඳ වැටුණු කඩුලු 37න් කඩුලු 34ක්ම දඟපන්දු යවන්නන් විසින් දවාගෙන තිබීම කැපී පෙනුණා.

  • ඉන්දීය පළමු ඉනිම – 325/10 (109.5); Mayank Agarwal 150, Axar Patel 52, c 44, Ajaz Patel 10/119.
  • නවසීලන්ත පළමු ඉනිම – 62/10 (28.1); Kyle Jamieson 17, Ravichandran Ashwin 4/8, Mohammed Siraj 3/19.
  • ඉන්දීය දෙවැනි ඉනිම – 276/7 (70); Mayank Agarwal 62, Cheteshwar Pujara 47, Cheteshwar Pujara 47, Axar Patel 41*.
  • නවසීලන්ත දෙවැනි ඉනිම: 167/10 (56.3); Daryl Mitchell 60, Henry Nicholls 44, Will Young 20, Ravichandran Ashwin 4/34, Jayant Yadav 4/49.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<