ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ නවසීලන්තය 3-0කින් පරාජය කරයි

New Zealand A tour of Sri Lanka

8
Cricket

ශ්‍රී ලංකා සහ නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (11) සමත් වෙනවා.

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක සහන් ආරච්චිගේ වෙනුවට 19 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කවිජ ගමගේ කැඳවා තිබූ අතර කණ්ඩායමේ සුක්කානම හිමි වූයේ සොනාල් දිනූෂ වෙතයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ තවත් පන්දු 22ක් සහ කඩුලු 4ක් ද ඉතිරි කර ගනිමින් එම ඉලක්කය සපුරා ගන්නවා.

>>ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තරග 2-0කින් පෙරමුණ ගනී<<

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් 22 හැවිරිදි වියේ පසුවෙන Muhammad Abbas පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 110ක් ලබා ගත්තා. මෙම ඉනිම ඔහුගේ පළමු පෙළ එක් දින තරග පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ඊට අමතර ව ඔහු Matthew Boyle සමඟ 4 වැනි කඩුල්ලට ලකුණු 122ක සබඳතාවක් එක් කරනවා. එහි දී Matthew Boyle පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනාට අමතර ව එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු Rhys Mariu පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 28ක් ද සහ Tim Pringle පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 46කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ට්‍රවින් මැතිව්, මොහොමඩ් ශිරාස්, ඩිල්ශාන් මදුශංක සහ මිලාන් රත්නායක කඩුල්ල බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිල් මිෂාර සහ ලසිත් කෲස්පුල්ලේ එක් ව සුපුරුදු ලෙසින් ම ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 46ක දී ලකුණු 62ක් ලබා ගන්නවා. එම සබඳතාව බිඳී යන්නේ ලසිත් කෲස්පුල්ලේ ගේ දැවී යෑමත් සමඟිනුයි.

පෙර තරගයේ ශතකලාභී ඔහුට අද තරගයේ දී ලබා ගැනීමට හැකි වූයේ පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් පමණයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නවක ක්‍රීඩක කවිජ ගමගේ පිටියට පිවිසි අතර ඔහුගේ ඉනිම ලකුණු 3කට සීමා වෙනවා.

අනතුරු ව කමිල් මිෂාර සහ පවන් රත්නායක එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 106ක දී ලකුණු 130ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ කමිල් මිෂාර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 83ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 3 වැනි පන්දුවේ දී පවන් රත්නායක ද තම ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 77ක් ලබා සිටියා.

ලකුණක් තුළ පිට පිට කඩුලු ද්විත්වයක් දැවී යෑමෙන් අනතුරු ව අහන් වික්‍රමසිංහ සහ නායක සොනාල් දිනූෂ එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 63ක දී ලකුණු 65ක සබඳතාවක් ගොඩ නගනවා. සොනාල් දිනූෂ පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී අහන් වික්‍රමසිංහ පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී  Simon Keene ලකුණු 54කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Tim Pringle කඩුලු 2ක් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 302 (50.0) Rhys Mariu 28, Matthew Boyle 85, Muhammad Abbas නොදැවී 110, Tim Pringle 20, විජයකාන්ත් වියස්කාන්ත් 2/46
  • ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 303 (46.2) කමිල් මිෂාර 83, ලසිත් කෲස්පුල්ලේ 26, පවන් රත්නායක 77, අහන් වික්‍රමසිංහ නොදැවී 64, සොනාල් දිනූෂ 26, Simon Keene 4/54, Tim Pringle 2/42

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 2කින් යුත් සිව් දින ක්‍රිකට් තරගාවලියේ 1 වැනි තරගය මේ මස 16 වැනිදා හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<