එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා බංග්ලාදේශයේ සහභාගීත්වය පිළිබඳ මේ වන විට අවිනිශ්චිත තත්වයක් මතු වී තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර ඉන්දියාව විසින් බංග්ලාදේශ ක්‍රීඩක Mustafizur Rahmanව IPL තරගාවලියෙන් ඉවත් කිරීමට පියවර ගත් අතර, ඒත් සමඟම මෙම ගැටලුකාරී තත්වය ආරම්භ වුනා.
බංග්ලාදේශයේ දී හින්දු ජාතිකයින්ට සිදු වන අඩන්තේට්ටම් පිළිබඳ ගැටලු මතු වීමෙන් පසුව IPL කණ්ඩායමක් වන Kolkata Knight Riders විසින් Mustafizur මෙසේ කණ්ඩායමෙන් ඉවත් කිරීමට පියවර ගත් අතර, ඉන් පසුව මෙයට ප්‍රතිචාර දැක් වූ බංග්ලාදේශ රජය විසින් මෙවර IPL තරගාවලිය එරට විකාශය කිරීම වාරණය කිරීමට පියවර ගත්තා.
ඉන් පසුව රජයේ අනුදැනුම යටතේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ICCය වෙත දන්වා සිටියේ එළඹෙන ලෝක කුසලානයේ තම සියලු තරග ඉන්දියාවේ නොපවත්වා ශ්‍රී ලංකාවට රැගෙන යා යුතු බවයි.
නමුත් මේ මොහොත වන විටත් ඒ පිළිබඳ කිසිදු යාවත්කාලීන වීමක් සිදු වී නැහැ.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මේ අතර බංග්ලාදේශ ටෙස්ට් නායක Najmul Hossain Shanto විසින් මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කරන්නේ බොහෝ ප්‍රධාන තරගාවලිවලට පෙර බංග්ලාදේශ ක්‍රීඩකයින්ට කුමන හෝ අන්දමේ ‘මවා පෑමක්‘ සිදු කිරීමට සිදු වන බවයි.
“කිසිම ලෝක කුසලානයකින් අපිට හොඳ ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ගිය පාර (2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ) අපිට හොඳ අවස්ථාවක් තිබුණා. ඒත් අපිට ඒකත් සාර්ථක කර ගන්න බැරි වුනා. ඒත් ඔබ දැකලා ඇති හැම ලෝක කුසලානයකටම කලින්, මොනවා හරි සිදුවීමක් වෙනවාම තමයි.
ඒක අපිට සෑහෙන්න බලපානවා. මේ වගේ තරගාවලි එකක්, දෙකක් ක්‍රීඩා කරලා තියෙන නිසා මට ඒ ගැන කියන්න පුළුවන්. ඒත් අපි වෘත්තිය ක්‍රීඩකයෝ නිසා ඒ කිසිම දෙයක් අපිට බලපාන්නේ නැහැ වගේ මවා පානවා. ඒත් ඔබ පවා දන්නවා අපිට මේක බලපානවා කියලා. ඒක ලේසි නැහැ. මෙහෙම දේවල් වෙන්නේ නැත්නම් හොඳයි. ක්‍රීඩකයෝ තාමත් උත්සහ කරන්නේ මේ දේවල් පැත්තකට දාලා හොඳින් ක්‍රීඩා කරන්න.
ඒ වගේම මේ සිදුවීම අපේ පාලනයෙන් තොර බවත් කියන්න ඕන. අපි ලෝක කුසලානය කොහේ ක්‍රීඩා කළත්, එතන දී කිසිම දෙයක් තමන්ට ගැටලුවක් නොවන බව මවා පාන්න හැම ක්‍රීඩකයෙකුට ම සිදු වෙනවා.“
තවමත් නිසි විසඳුමක් ලැබී නොමැති මෙම ගැටලුව සහ තවත් අතීත කතා කිහිපයක් ම මතකාවර්ජනය කරමින් තම සහෝදර ක්‍රීඩකයින් වෙනුවෙන් Shanto මෙසේ සිය අදහස් ප්‍රකාශ කර ඇති බව වටහා ගත හැකි.
Shanto විසින් පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් බංග්ලාදේශයට නායකත්වය ලබා දුන් නමුත්, වත්මන් බංග්ලාදේශ විස්සයි විස්ස සංචිත තෝරා ගැනීමේ දී ඔහුව නොසලකා හැර තිබෙනවා.
මෙම සිදුවීම් පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















