ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් තරු, පියවරුන් ලෙස නැවතත් පිටියට

395
My Dad My Super Star cricket

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හෝ ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ, වර්තමානයේ පියවරුන් වන ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වතාවට පැවැත්වෙන “My Dad My Superstar” ක්‍රිකට් තරගාවලිය මේ වසරේ නොවැම්බර් මස 3 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

දඹුල්ලෙන් නුවරට යද්දී දෙපිලේම වෙනස්කම්

දෙරට අතර පැවති පළමු එක්දින තරගයට ද වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ අත්හැර දැමූ..

ශ්‍රී ලංකාවේ පාසල් 17ක් හා එක් ඒකාබද්ධ පාසල් කණ්ඩායමක් ද ඇතුළත්ව කණ්ඩායම් 18ක, ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධව සිටි පියවරුන් රැසක් එකිනෙකා තරග වදින මේ ක්‍රිකට් තරගාවලිය මූලික වශයෙන් තරග වට තුනකින් සමන්විත වේ.

එක් කාණ්ඩයකට කණ්ඩායම් 6ක් ඇතුලත් වන සේ කාණ්ඩ තුනකට වෙන් කොට මේ තරගාවලියේ මූලික තරග වටය පවත්වන අතර එම තරග සියල්ලේම එක් ඉනිමක් පන්දුවාර 15කට සීමාවේ. ලීග් ආකාරයට පැවැත්වෙන ඒ තරග වටය අවසන් වූ වහාම ඒ ඒ කාණ්ඩයන් වල ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක බැගින් තෝරා ගෙන සුපර් Dads ශූරතා තරග වටයට ඇතුලත් කරනු ලැබේ. අනෙක් සියලුම කණ්ඩායම් ඒ ඒ කාණ්ඩවල දැක්වූ දස්කම් අනුව පිළිවෙළින් චැම්පියන් Dads හා Challenger Dads යන ශූරතා කුසලාන තරග වටවලට ඇතුලත් කරනු ඇත.

කණ්ඩායම් 18ක් සහභාගී වෙන මේ තරගාවලියට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස අවසන් මහා තරග තුනක් ඇතුළත් අතර තරග සියල්ලම මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. අවසන් මහා තරග තුන පැවැත්වෙන්නේ උක්ත සඳහන් සුපර් Dads, චැම්පියන් Dads හා Challenger Dads යන ශූරතා කුසලාන වෙනුවෙනි.

යොවුන් ගැටුමේ දී බංග්ලාදේශයෙන් ප්‍රබල ආරම්භයක්

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් අද (16)..

එසේම මේ තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කරන කණ්ඩායමට වයස අවුරුදු 35-40 අතරේ පසුවන ක්‍රීඩකයින් 5 දෙනෙක් ඇතුලත් විය යුතු අතර 40-45, 45-50 හා 50ට ඉහළ යන වයස් කාණ්ඩ යටතේ ක්‍රීඩකයින් දෙදෙනා බැගින් එක් කණ්ඩායමක් නියෝජනය කළ යුතු වේ.

තරගාවලියේ තරග වදිනු ලබන පාසල් කණ්ඩායම්වල නායකයින් පහත පරිදි වේ,

ත්‍රිත්ව විද්‍යාලය (නිලන්ත රත්නායක මහතා), ඒකාබද්ධ පාසල් කණ්ඩායම (සනත් ජයසූරිය මහතා), ආනන්ද විද්‍යාලය (අවිශ්ක ගුණවර්ධන මහතා), මලියදේව විද්‍යාලය (අජිත් ඒකනායක මහතා), නාලන්දා විද්‍යාලය (හේමන්ත දේවප්‍රිය මහතා), රාජකීය විද්‍යාලය (සුමිත්‍ර වර්ණකුලසූරිය මහතා), රිච්මන්ඩ් විද්‍යාලය (චමිල ගමගේ මහතා), ඉසිපතන විද්‍යාලය (නුවන් සොයිසා මහතා), මහින්ද විද්‍යාලය (උපුල් චන්දන මහතා), රාහුල විද්‍යාලය (ප්‍රමෝදය වික්‍රමසිංහ මහතා), ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය (මහින්ද හලංගොඩ මහතා), වේල්ස් කුමාර විද්‍යාලය (දර්ශන ගමගේ මහතා), සාන්ත ආනා විද්‍යාලය (ලංකා ද සිල්වා මහතා), ඩී. එස්. සේනානායක විද්‍යාලය (හෂාන් තිලකරත්න මහතා), සාන්ත ජෝසප් විද්‍යාලය (චමින්ද වාස් මහතා),  මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය (හේෂාන් ද මෙල් මහතා), සාන්ත පීතර විද්‍යාලය (රෝයි ඩයස් මහතා), කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය (සජිත් ප්‍රනාන්දු මහතා)

“My Dad My Super Star ක්‍රිකට් තරගාවලියේ අපේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සැඟවිලා තියෙන දක්ෂතා ඉහළට ගන්න තිබෙන ඉතාමත් හොඳ තෝතැන්නක්. මේ වේදිකාවේ දී මෑතක දී පිය පදවිය ලබාගත් ක්‍රීඩකයින් වගේම ක්‍රිකට් ලොවෙන් විශ්‍රාම ගොස් වැඩි කාලයක් ගතව තිබෙන ක්‍රීඩකයින් ද කිහිප දෙනෙක් ක්‍රීඩා කරනවා. ඒක මේ රටෙන් අනාගතයේ බිහිවෙන්න ඉන්න ක්‍රීඩකයින්ට වගේම වර්තමාන ක්‍රීඩකයින්ටත් ලොකු ආදර්ශයක් කියලා මම හිතනවා.” යැයි මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මේ තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති උත්සවය සඳහා 1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සහ තරගාවලියේ ප්‍රධාන අනුශාසක ලෙස කටයුතු කරන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, උපඅනුශාසක අරවින්ද ද සිල්වා මහතා, තරගාවලියේ අධ්‍යක්ෂක රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා, තරගාවලිය සංවිධානය කරනු ලබන ස්පොටෝනික් ආයතනය නිලධාරීන් කිහිප දෙනක් හා තරගාවලියේ තරග වදිනු ලබන කණ්ඩායම්වල නායකයින් රැසක් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් පැමිණ සිටින ලදි.

මේ තරගාවලියේ තරග වාර්තා, සේයා රූ, විශේෂ වීඩියෝ ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින්, එතෙක් රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<