බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා ශූරයන් තේරීමට දින නියම වේ

108

ලොව පැතිර යන කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමීමට සිදු වූ බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා ශූරතාවලිය මෙම වසරේ සැප්තැම්බර් මස මුල් සතියේ පැවැත්වීමට බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

බ්‍රිතාන්‍ය ඔලිම්පික් සුදුස්සන් තෝරන තරගාවලියට කොරෝනා හරස් වෙයි

ඒ අනුව මෙවර තරගාවලිය සැප්තැම්බර් මස 4 සහ 5 යන දෙදින තුළ ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව අදාළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් යටතේ පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම තීරණය පිළිබඳව දැනුම් දෙමින් එක්සත් රාජධානි මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී Joanna Coates ප්‍රකාශ කර සිටියේ මෙම වසරේ ගිම්හානය අවසන් වන විට ක්‍රීඩකයන් හට තරග කිරීමට හා බ්‍රිතාන්‍ය ශූරයන් බවට පත්වීමට අවස්ථාවක් ලබා දීමට හැකි වීම පිළිබඳව සතුටට පත්වන බවයි.

මෙම තරගාවලිය බ්‍රිතාන්‍ය ඔලිම්පික් සුදුස්සන් තේරීමේ තරගාවලිය ලෙස ද මීට පෙර නම් කර තිබූ නමුත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලසීමාව තාවකාලිකව අත්හිටු වූ නිසාවෙන් ඔලිම්පික් තේරීම් තරග ලබන වසරේ ජුනි මස දක්වා කල් දැමීමට බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා බලධාරීන් කටයුතු කළේය.

යුරෝපා මහද්වීපය තුළ ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගිය මෙම වයිරස තත්වය නිසාවෙන්  බොහෝ ක්‍රීඩා තරගාවලි කල් දැමීමට හෝ අවලංගු කිරීමට සිදු වූ අතර එම කලාපයේ ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලිය වූ යුරෝපානු මලල ක්‍රීඩා ශූරතාවලිය ද අවලංගු කිරීමට සංවිධායකයින් තීරණය කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<