ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්නට ක්‍රීඩා ඇමතිගෙන් අවසර

212

COVID-19 වසංගත තත්ත්වය හමුවේ සියලුම ක්‍රීඩාවල පුහුණු කටයුතු ආරම්භ කර පවත්වා ගෙන යාම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය.

COVID-19 වසංගත තත්ත්වය යටතේ වුවද ව්‍යායාම සහ ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමේ වැදගත්කම එහි දී සාකච්ඡාවට ලක්විය. රට තුළ පවතින තත්ත්වය සහ ප්‍රාදේශීය වශයෙන් පවතින තත්ත්වයන් සලකා බලමින් පියවරෙන් පියවර ආරක්ෂාකාරීව ක්‍රීඩා කටයුතු ආරම්භ කිරීමට සාකච්ඡාවට එක් වූ සියලු දෙනාම එහි දී එකඟත්වය පළ කළේය.

තනි තනිව කරන ක්‍රීඩා සහ අවදානම් තත්ත්වය අඩු ක්‍රීඩා සඳහා තරගාවලි පැවැත්වීමට තීරණය කළ අතර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ක්‍රීඩා කටයුතු පවත්වා ගෙන යාමට හැකියාව ලැබුණහොත් වැඩි අවදානමක් සහිත ක්‍රීඩා සහ ඒවායේ තරගාවලි පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව මසකට පසු නැවත සමාලෝචනය කිරීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවත් මෙහි දී සාකච්ඡා විය.

තවත් පුවත්:

එසේම බස්නාහිර පළාත වැනි වැඩි අවදානමක් සහිත පළාත් සහ දැනට COVID-19 වසංගත තත්ත්වය පැතිරී ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමට එහි දී තීරණය කෙරිණි.

ක්‍රීඩා කටයුතු පවත්වා ගෙන යාමේ දී දෙමාපියන්ට, පාසල් ගුරුවරුන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක හා සමාන වගකීමක් ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළ දී ක්‍රීඩා කටයුතු ආරක්ෂාකාරීව ආරම්භ කළ යුතු ආකාරය පිළිබඳව නිසි සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ලබා දීමට නියමිත බවත් එහි දී ප්‍රකාශ විය.මෙම සාකච්ඡාව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<