මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, නායක මෙවන් ප්‍රනාන්දුගේ මෙහෙය වීමෙන් 2000 වර්ෂයේදී පැවැති පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ ජයත්, ඉන් අනතුරුව 2001 වර්ෂයේදී මලික් ජයවර්ධනගේ නායකත්වයෙන් සමස්ත ලංකා අනුශූරතාවයත් දිනා ගැනීමෙන් පසු නැවත වරක් ඉතිහාසය වෙනස් කරමින් වයස අවුරුදු 19න් පහල සමස්ත ශූරතාවය දිනා ගැනීමේ අරමුණින් මෙවර අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට එක්ව සිටියි.

පසුගිය ලිපි: මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය – අවසන් අටෙන් ඉදිරියට යාමේ උත්සාහය

ක්‍රිකට් ඉතිහාසයෙන් බිඳක්

සාන්ත මරියා විද්‍යාලය ලෙස පැවති පාසලක් 1922 වසරේදී මාරිස් ස්ටෙල්ලා විදුහල ලෙස නව මුහුණුවරකින් ආරම්භ කෙරුනේ මාරිස්ට් නිකායේ ගරු සහෝදර තුමන්ලා සිවු නමක් විසිනුයි. සියවසකට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන නමුත් මාරිස් ස්ටෙල්ලාවේ ක්‍රිකට් ඉතිහාසය දශක 4ක තරම් මෑත සමයේ ආරම්භ කෙරුණකි.

මෙම විදුහලෙන් බිහිවූ ක්‍රිකට් තරු පිලිබඳ සලකා බැලීමේදී 80 දශකයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ග්‍රැහැම් ලැබ්රෝයි එවකට මෙරට කැපී පෙනුණු ක්‍රීඩකයෙක් ලෙස සැලකිය හැකිය.

ඊට අමතරව මේ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නැගී එන තරු යුගලක් වන දුෂ්මන්ත චමීර සහ දසුන් ශානකද මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ සාඩම්බර ආදි ශිෂ්‍යයන් වෙයි.

2016/17 තරග සමය

මාරාන්තික කාණ්ඩයක් නැතහොත් ඉතා තරගකාරී කාණ්ඩයක් ලෙස සැලකෙන D කාණ්ඩය යටතේ මෙවර තරගාවලියට එක්ව සිටින මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ශූරතාව පිලිබඳ බලාපොරොත්තු රඳවා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ. ජනාධිපති විද්‍යාලයට එරෙහිව වාර්තා කල පූර්ණ ජයග්‍රහණයක් සහ ඊළඟ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරමින් මෙවර තරග වාරය ආරම්භ කල මාරිස් ස්ටෙල්ලාවට සාන්ත ජෝසප් විද්‍යාලය හමුවේ ලද අනපේක්ෂිත පරාජය හේතුවෙන් නැවත තරගාවලියට අවතීර්ණ වීමට තම උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා මහත් කැපවීමෙන් ක්‍රීඩා කිරීමට සිදු වනු ඇත.

ප්‍රධාන ක්‍රීඩකයින්

වසර 4ක් පුරා පාසලේ ප්‍රධාන කණ්ඩායම නියෝජනය කරමින් ලද අත්දැකීම් වලින් සන්නද්ධ කණ්ඩායම් නායක සචිඳු කොළඹගේ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවයි. පසුගිය තරග වාරයේදී තරග 13ක් තුල ලකුණු 550ක් සහ කඩුලු 45ක් දවාගෙන ඇති සචිඳු මෙවර තරග වාරයේදී සිය පිත්තෙන් සහ පා දඟ පන්දුවේ සවියෙන් කණ්ඩායමට වඩාත් ඉහල දායකත්වයක්  ඇතිව තරග වදියි.

වමත් පිතිකරු කෙවින් තරූෂ මේ වසරේ මාරිස් ස්ටෙල්ලා පිතිකරණ බල ඇණියේ ප්‍රධාන ක්‍රීඩකයෙකි. ඔහු පසුගිය තරග වාරයේදී තරග 12ක් තුල ලකුණු 586ක් රැස් කරන්නට සමත් විය.

ලසිත් කෲස්පුල්ලේ මෙවර මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායමට එක්වන්නේ පළමු වරටයි. කඳාන ද මැසිනොද් විද්‍යාලය නියෝජනය කල ඔහු මෙවර මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම සමග එක්වන්නේ පසුගිය තරග වාරයේදී ද මැසිනොද් විද්‍යාලය වෙනුවෙන් වාර්තා කල 500කට වඩා වැඩි ලකුණු එකතුවක අයිතියද සමගයි.

වේග පන්දුවෙන් දස්කම් දක්වන තුන් ඉරියවු ක්‍රීඩක තිමිඳු ප්‍රීත්ම පසුගිය තරග වාරය තුල පන්දුවෙන් දැක්වූ දස්කම් අතරට කඩුලු 38ක් ඇතුලත් වන අතර ඔහුගේ පිත්තේ දායකත්වය ලකුණු 248ක් ලෙස සටහන් වෙයි.  තිමිඳුගේ පිත්තේ සහ පන්දුවේ දස්කම් දියුණු කර ගැනීමට හැකි වුවහොත් එය මෙවර තරග වාරයේදී මාරිස් ස්ටෙල්ලාවට අතිරේක වාසියක් වනු ඇත.

තෙවන වසරේ වර්ණ ලාභියෙක් වන පසිඳු උස්හෙට්ටි ද දඟ පන්දුවෙන් දස්කම් දක්වන අතරම පිත්තෙන්ද ඉහල දායකත්වයක් ලබා දිය හැකි ක්‍රීඩකයෙකි. පසුගිය තරග වාරයේදී පසිඳුගේ වමත් දඟ පන්දුවට ක්‍රීඩකයන් 36 දෙනෙක් ගොදුරු වෙද්දී ඔහුගේ පිත්තෙන් වාර්තාවූ ලකුණු සංඛ්‍යාව 336කි.

2016/17 වසරේ මාරිස් ස්ටෙල්ලා විදුහල් ක්‍රීඩකයින්ගේ ඡායාරූප ඇල්බමය

පුහුණු කාර්ය මණ්ඩලය

අඩ දශකයකට වඩා වැඩි කාලයක් මරදාන ශාන්ත ජෝශප් කනිෂ්ඨ සහ ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් පුහුණු කරමින් මනා අත්දැකීම් වලින් පරිපූර්ණ පුහුණුකරුවෙකු වන අනිල් චන්දන මහතා මෙවර මීගමුව මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගෙන තිබේ. සාන්ත ජෝසප් කණ්ඩායම සමග ලබා ගත් අත්දැකීම් නව වගකීම මනාව ඉටු කිරීම සඳහා ඔහුට රුකුලක් වනු නොඅනුමානය.

ඔහුගේ සහය පුහුනුකරු ලෙස ඩිශාන් ශාමින්ද මහතා කටයුතු කරන අතර ඉෂාර ප්‍රනාන්දු මහතා මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම භාර ආචාර්ය වරයා ලෙස කටයුතු කරයි.

සාරාංශය

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය මෙවර 2016/17 තරග වාරය ආරම්භයේදී එතරම් සාර්ථකත්වයක් නොපෙන්වීම හේතුවෙන් ඔවුන්ගේ ඉදිරි ගමන එතරම් පහසු එකක් නොවනු ඇත. කෙසේ වෙතත් සියලු ක්‍රීඩකයන්ගේ පූර්ණ කැපවීම සහ උපරිම දක්ෂතා ප්‍රකට කිරීමේ හැකියාව මත මාරිස් ස්ටෙල්ලා ඉතිහාසයේ පළමු වරට පාසල් ක්‍රිකට් ශූරතාව වෙත ලඟා වීමේ හැකියාව තවමත් ඔවුන් සතුව පවතියි.

තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න