කෝඩුකාරයෝත් දක්ෂතා දක්වයි

Major Clubs T20 Tournament 2025

3

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (16) ක්‍රීඩාංගණ 3ක දී ආරම්භ වූ අතර එහි දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට අමතර ව කෝඩුකාර ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ද දක්ෂතා දැක්වීම කැපී පෙණුනා.  

ඒ අතුරින් Police SC කණ්ඩායම නියෝජනය කළ ඉෂිර ආයුපාල ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් ද සහ Panadura SC කණ්ඩායම නියෝජනය කළ සෙනිත හැළඹගේ ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් ද පරාජිත තරගවලට දක්ෂ පන්දු යැවිම් එක් කරන්නට සමත් වුනා.   

මේ අතර  දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වීමට BRC කණ්ඩායමේ මොවින් සුබසිංහ සමත් වුනා. ඔහු Police SC කණ්ඩායමට එරෙහි ව පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස තරග පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

ඊට අමතර ව සිනෙත් ජයවර්ධන සහ සනෝජ් දර්ශික ද තම විස්සයි විස්ස තරග පිටියේ හොඳම ඉනිම් වාර්තා කිරීමට අද සමත් වෙනවා. Tamil Union C & AC කණ්ඩායම නියෝජනය කරන සිනෙත් ජයවර්ධන පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 61ක් ලබා ගනිමින් ද සහ Colts CC කණ්ඩායම නියෝජනය කරන සනෝජ් දර්ශික පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ද ලබා ගනිමින් ඔවුන් මෙම කඩඉම්වලට පිවිසියා.  

එමෙන් ම NCC කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක සහ ලහිරු උදාර අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට ද සමත් වීම කැපී පෙණුනා. පැතුම් නිස්සංක පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් ද සහ ලහිරු උදාර පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ද ලබා ගත්තා. Kurunegala Youth CC කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද මෙම ඉනිම් සමඟින් ඔවුන් දෙදෙනා 2 වැනි කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 104ක සබඳතාවක් ද ගොඩ නගනවා.  

පන්දු යැවීමේ දී Bloomfield C & AC කණ්ඩායමේ වමතින් මඳ වේග පන්දු යවන දුලාජ් සමුදිත ලකුණු 13කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ විස්සයි විස්ස තරග පිටියේ ඉහළ ම දක්ෂතාව බවට මෙන් ම අද දවසේ හොඳම පන්දු යැවීම බවට ද එය පත් වුනා 

මේ අතර Colts CC කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන කවිෂ්ක අංජුල ලකුණු 19කට කඩුලු 4ක් දවා ගනිද්දී, BRC කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ශෂික දුල්ශාන් ලකුණු 20කට කඩුලු 4ක් දවා ගනිමින් ඔවුන්ගේ විස්සයි විස්ස තරග පිටිවල හොඳම පන්දු යැවීම් වාර්තා කළා. 

ඔවුන්ගේ එම දක්ෂතාවලට අමතර ව අද තරගවල දී පළමු වරට විස්සයි විස්ස තරග වරම් දිනා ගැනීමට ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ම සමත් වෙනවා. ඒ අනුව BRC කණ්ඩායම නියෝජනය කරමින් කුසල් විජේතුංග සහ තරුශ්ක අශේල්, Police SC කණ්ඩායම නියෝජනය කරමින් ඉෂිර ආයුපාල සහ සංගීත් සංකල්ප, CCC කණ්ඩායම නියෝජනය කරමින් නවිඳු ප්‍රබාශ්, Kurunegala Youth CC කණ්ඩායම වෙනුවෙන් කවිඳු ඒකනායක සහ ලක්වින් අබේසිංහ, Nugegoda W&C කණ්ඩායම නියෝජනය කරමින් අබ්දුල් හකම්, Bloomfield C & AC කණ්ඩායම නියෝජනය කරමින් මිනෙත් ප්‍රේමරත්න, Panadura SC කණ්ඩායම නියෝජනය කරමින් සෙනිත හැළඹගේ, එරංග ජයකොඩිගේ සහ සසිඳු මල්ශාන්, Colts CC කණ්ඩායම නියෝජනය කරමින් හිරුණ ගාල්ලගේ ද ඒ අතර වෙනවා.  

අද නිමා වූ තරගවලට කෙටි ලකුණු පුවරු 

BRC සහ Police SC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.  

BRC – සියලුම දෙනා දැවී 160 (19.3) සවින් ගුණසේකර 26, කුසල් විජේතුංග 25, මොවින් සුබසිංහ 72, චාරුක ප්‍රමෝද් 2/24, ඉෂිර ආයුපාල 3/25, අශේන් බණ්ඩාර 2/31

Police SC – සියලුම දෙනා දැවී 94 (16.4) විශාද් රන්දික 22, අශේන් බණ්ඩාර 37, ශෂික දුල්ශාන් 4/20, චමිර දිසානායක 2/16

 

BRC කණ්ඩායමට ලකුණු 66ක ජයක්.  


Ace Capital CC සහ CCC අතර තරගය P. Sara Oval ක්‍රීඩාංගණයේ දී. 

Ace Capital CC – කඩුලු 8ක් දැවී 98 (20.0) හිමාෂ ලියනගේ 31, ඉසුරු උදාර 2/21, චතුරංග ද සිල්වා 2/09, ධනංජය ද සිල්වා 2/20

CCC – කඩුලු 4ක් දැවී 102 (16.0) ධනංජය ද සිල්වා 42, සහන් කෝසල නොදැවී 28, ට්‍රෙවින් මැතිව් 2/15

 

CCC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  


Kurunegala Youth CC සහ NCC අතර තරගය CCC ක්‍රීඩාංගණයේ දී. 

Kurunegala Youth CC – කඩුලු 9ක් දැවී 135 (20.0) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 35, අසන්ත බස්නායක 31, සම්පත් නිශාන්ත 3/31, සහන් ආරච්චිගේ 2/23

NCC – කඩුලු 4ක් දැවී 138 (13.0) පැතුම් නිස්සංක 50, ලහිරු උදාර 56, දුවිඳු තිලකරත්න 2/41

 

NCC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  


Nugegoda W&C සහ Bloomfield C & AC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී. 

Nugegoda W&SC  – සියලුම දෙනා දැවී 57 (14.1) තිලකරත්න සම්පත් 19, දුලාජ් සමුදිත 4/13, 

Bloomfield C & AC – කඩුලු 3ක් දැවී 63 (7.1) රොන් චන්ද්‍රගුප්ත 19, ලහිරු මදුශංක නොදැවී 15

 

Bloomfield C & AC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  


Panadura SC සහ Moors SC අතර තරගය P. Sara Oval ක්‍රීඩාංගණයේ දී. 

Panadura SC – කඩුලු 8ක් දැවී 130 (20.0) විශේන් හැළඹගේ 23, නිසල තාරක නොදැවී 27, ගරුක සංකේත් 2/25, රමේෂ් මෙන්ඩිස් 2/21

Moors SC – කඩුලු 3ක් දැවී 131 (12.5) සොහාන් ද ලිවේරා 46, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 37, සෙනිත හැළඹගේ 3/32

 

Moors SC කණ්ඩායමට කඩුලු 7ක ජයක්. 


Tamil Union C & AC සහ Colts CC අතර තරගය CCC ක්‍රීඩාංගණයේ දී. 

Tamil Union C & AC – කඩුලු 8ක් දැවී 165 (20.0) සිනෙත් ජයවර්ධන 61, භානුක රාජපක්ෂ 25, සචිත ජයතිලක 23, ධනංජය ලක්ෂාන් 2/15, කවිෂ්ක අංජුල 4/19

Colts CC – කඩුලු 6ක් දැවී 166 (18.5) රවිඳු රශාන්ත 28, ධනංජය ලක්ෂාන් 26, සනෝජ් දර්ශික නොදැවී 55, තරිඳු රත්නායක 3/28

 

Colts CC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  

Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 6ක් මේ මස 19 වැනිදා ක්‍රීඩාංගණ 3ක දී පැවැත්වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<