පවන් රත්නායක ගේ සුවිශේෂී නොදැවුණ ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Clubs එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ ශූරයන් බවට පත් වීමට CCC කණ්ඩායම අද (30) සමත් වුණා.
කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ක්‍රියාත්මක අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ Police SC කණ්ඩායමයි. කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් CCC කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 387ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Police SC කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 200ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් CCC කණ්ඩායමට ලකුණු 187ක ජයග්‍රහණයක් හිමි වෙන්නේ ප්‍රතිවාදීන් සතුව තවත් පන්දු 58ක් ද අතැතිව තිබියදීයි.
මෙම තරගාවලිය පෙර නිමා වූ Major Clubs විස්සයි විස්ස තරගාවලියේ ද ශූරයන් බවට පත් වූයේ CCC කණ්ඩායමයි.
CCC කණ්ඩායම
සොනාල් දිනූෂ (නායක), නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, පවන් රත්නායක, සහන් කෝසල, චමිඳු විජේසිංහ, ඉනුක කරන්නාගොඩ, නුවන් තුෂාර සහ විශ්ව ප්‍රනාන්දු.
Police SC කණ්ඩායම
අශේන් බණ්ඩාර (නායක), ධනුජ ඉඳුවර, නදිර බාලසූරිය, කුසල් පෙරේරා, විශාද් රන්දික, ප්‍රියමාල් පෙරේරා, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), චාරුක ජයතිලක, දිලුම් සුදීර, නලින් ප්‍රියදර්ශන සහ චාරුක ප්‍රමෝද්.
කාසියේ වාසිය දිනා ගත් CCC ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තත් එය ආරම්භක කඩුලු ද්විත්වයේ දී තරමක අභියෝගාත්මක කරුණක් බවට පත් වෙනවා. ඒ ආරම්භක පන්දුවාරයේ දී ම ලසිත් කෲස්පුල්ලේ ලකුණු නොලබා ම සහ යැවුණ 5 වැනි පන්දුවාරයේ දී ධනංජය ද සිල්වා ලකුණු 2කට දැවී යෑමත් සමඟිනුයි.
ඒ වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරට එක් ව තිබුණේ ලකුණු 25ක් පමණයි. කෙසේ වෙතත් 3 වැනි කඩුල්ලේ දී පන්දු 112ක දී ලකුණු 130ක සබඳතාවක් එක් කිරීමට නිශාන් මදුශ්ක සහ කමිඳු මෙන්ඩිස් සමත් වෙනවා. කමිඳු මෙන්ඩිස් පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 59කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
අනතුරු ව පිටියේ රැඳී සිටි නිශාන් මදුශ්ක ද එතැන් සිට CCC ඉනිමට ලකුණු 17ක් එක් වෙද්දී දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 88ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව කඩුල්ලේ දී පන්දු 126ක දී ලකුණු 190ක සබඳතාවක් එක් කිරීමට පවන් රත්නායක සහ නායක සොනාල් දිනූෂ සමත් වෙනවා. සොනාල් දිනූෂ පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53කට දැවී යද්දී CCC ඉනිම කඩුලු 5ක් දැවී ලකුනු 362ක් බවට පත් ව තිබුණා.
ඉනිමේ අවසන් පන්දු 10 දී නොදැවුණ ලකුණු 25ක් එක් කිරීමට පවන් රත්නායක සහ චමිඳු විජේසිංහ සමත් වූවා. CCC ඉනිම අවසන් වෙද්දී පවන් රත්නායක පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 158ක් ලබා සිටි අතර චමිඳු විජේසිංහ පන්දු 5ක දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී චාරුක ජයතිලක සහ චාරුක ප්‍රමෝද් කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර අශේන් බණ්ඩාර ට ද කඩුල්ලක් හිමි වුණා.
- U 19 කාන්තා Youth ශූරතාව Galle ක්රීඩිකාවන්ට
- CCC අවසන් මහා තරගයට
- Police අවසන් මහා තරගයට
- Police, Tamil Union, CCC සහ Colts අවසන් පූර්ව වටයට
- SSC කණ්ඩායම Tier B ශූරතාව දිනා ගනී
හඹා ගිය Police SC ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ ප්‍රියමාල් පෙරේරා. ඔහු පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා ගන්නවා. ඊට අමතර ව ජේසන් ප්‍රනාන්දු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව Police SC ඉනිමේ කඩුලු අතර ඉහළ ම ලකුණු සබඳතාව ගොඩ නැගීමට ද දායක වෙනවා. ඒ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76ක දී ලකුණු 68ක් ලබා ගනිමිනුයි.
ඔවුන් දෙදෙනා ට අමතර ව කුසල් පෙරේරා පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ද සහ විශාද් රන්දික පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.
Police SC ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 26කට දැවී ගොස් තිබිය දී ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 40ක් එක් කරනවා.
ඉනිමේ පසු පෙළින් පිටියට පිවිසි නලින් ප්‍රියදර්ශන පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී ඉනුක කරන්නාගොඩ ලකුණු 32කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව චමිඳු විජේසිංහ කඩුලු 2ක් ද, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු, සොනාල් දිනූෂ සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් හිමිකර ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
CCC – කඩුලු 5ක් දැවී 387 (50.0) නිශාන් මදුශ්ක 88, කමිඳු මෙන්ඩිස් 59, පවන් රත්නායක නොදැවී 158, සොනාල් දිනූෂ 53, චාරුක ප්‍රමෝද් 2/92, චාරුක ජයතිලක 2/65
Police SC – සියලුම දෙනා දැවී 200 (40.2) කුසල් පෙරේරා 31,විශාද් රන්දික 22, ප්‍රියමාල් පෙරේරා 57, ජේසන් ප්‍රනාන්දු 26, චමිඳු විජේසිංහ 2/36, ඉනුක කරන්නාගොඩ 4/32
CCC කණ්ඩායමට ලකුණු 187ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















