කුමාර් සංගක්කාර “මුරලි සමගි කුසලානයට” ඇරඹුම තබයි

2825
Kumar Sangakkara

මුරලි සමගි කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2016 වර්ෂය සඳහා සමාරම්භය ඊයේ (සැප්තැම්බර් 20, 2016) කිලිනොච්චි නගරයේදී පැවැත්වුණි.

මෙවර නව කණ්ඩායම් 10ක් සමගින් මුළු කණ්ඩායම් 24ක් මෙම දැවැන්ත තරගාවලිය සඳහා ඒකරාශි වී සිටින අතර, ඔවුන්ට මෙම ආකර්ෂණීය ශූරයින්ගේ කුසලානයේ සාඩම්බර හිමිකරුවන් බවට පත් වීමටත්, කාන්තා හා පිරිමි අංශ වලදී තම හැකියාවන් ලෝකය ඉදිරියේ විදහා දැක්වීමටත් දැන් ඉඩ ප්‍රස්ථාව උදා වී ඇත.

පසුගිය ලිපි: දෙවැනි තරගයත් ශ්‍රී ලංකාව පරාදයි

ගෞරවණීය ආරාධිතයෙකු ලෙස සමාරම්භක උත්සවයට සහභාගි වුනු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය දේශනයේදී මෙම තරගාවලියේ වැදගත්කම පිලිබඳව අවධාරණය කරමින් කියා සිටියේ, උතුරු හා නැගෙනහිර පළාත් වල පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට තමන් සතු ක්‍රීඩා කෞෂල්‍යය පෙන්වා දීමටත්, සිය අනාගතය සාර්ථක කරගැනීමටත් මෙම තරගාවලිය අගනා තෝතැන්නක් වන බවයි.

Photo Album: Murali Cup 2016 Opening Ceremony

මුරලි සමගි කුසලානයේ ආරම්භයේ සිටම එහි කොටස්කරුවකු බවට පත්ව සිටි සංගක්කාර තවදුරටත් කියා සිටියේ, තරගාවලියට සහභාගි වන කණ්ඩායම් මෙය තවත් එක් විස්සයි විස්ස තරගාවලියක් ලෙස නොසලකා තරගාවලියේ ඇති සංකල්පය තේරුම් ගනිමින් ක්‍රීඩාවට අවතීර්ණ විය යුතු බවයි. “තරගාවලිය පුරාවට ක්‍රීඩාවේ ජීවගුණයට අනුගත වෙමින්, සබැඳියාවන් ඔප්නංවා ගෙන සියලු දෙනා අතර මිත්‍රත්වය ඇති කිරීමට උත්සාහ කිරීම වැදගත්” යැයි ඔහු කියා සිටියේය.

මුරලි සමගි කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වැනිදා කිලිනොච්චිය, මාන්කුලම්, ඔඩ්ඩුසුඩ්ඩාන් සහ යාපනය යන නගර වල ක්‍රීඩාංගණ කිහිපයකදී ආරම්භ කිරීමට නියමිත අතර, අවසන් තරගය මෙම මස 25 වැනිදා කිලිනොච්චිය මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර, ඔහුගේ හිතමිතුරන් වන ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් සමග තරගාවලිය අතරතුර දී සම්බන්ධ වීමට නියමිතයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට