කරට කර තරගයේ ජය පැරදුම සමව බෙදී යයි

574

බටහිර ආසියානු කුසලාන රග්බි තරගාවලියේ තවත් තරගයක් මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී අද (15) පැවති අතර, තරගය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවේය.  ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය සහ අබුඩාබි හාලිකුයින්ස් ක්‍රීඩා සමාජය සහභාගී වූ මෙම තරගය ආරම්භයේ සිටම උද්වේගකර එකක් විය.

කවිඳු පෙරේරා සංචිතයෙන් ඉවතට

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන කවිඳු පෙරේරා හට ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ…

තරගය ආරම්භයේ දී ම තියුණු මුහුණුවරක් ගත් අතර තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වන විට අබුඩාබි ක්‍රීඩා සමාජය තම ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය.

ඒ අනුව වාර්තා වූ පළමු උත්සාහක දිනුම ජෝ ටීස්ටේල් විසින් සාර්ථක කර ගත් අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් වූ හාලිකුයින්ස් සමාජයට ලකුණු 7ක් එකතු විය (07-00).

තරගයේ 7වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් මඟින් තවත් ලකුණු 3ක් තම කණ්ඩායමට එකතු කර ගැනීමට අබුඩාබි කණ්ඩායම සමත් විය (10-0).

නමුත් ඉන් පසුව තරගයට අවතීර්ණ වූ මහනුවර ක්‍රීඩා සමාජය දඬුවම් පහරක් මඟින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ලදි (10-03).

ඉන් මිනිත්තු කිහිපයකට පසු ක්‍රියාත්මක වූ අනුරුද්ධ විල්වර අබුඩාබි ආරක්ෂක වළල්ල බිඳ දමමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක විය (07-07).

තරගයේ පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය තුළ අබුඩාබි කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වූයේ ප්‍රථම අර්ධයේ වැඩි ගෞරවය දිනා ගනිමිනි (17-10).  

පළමු අර්ධය: අබුඩාබි කණ්ඩායම 17 – 10 මහනුවර ක්‍රීඩා සමාජය

නැවතත් ක්‍රියාත්මක වූ අනුරුද්ධ විල්වරගේ දක්ෂ ක්‍රීඩා විලාශය හේතුවෙන් දෙවන අර්ධය ආරම්භයේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගනිමින් ලකුණු පුවරුව සම කරන්නට ඔවුන් සමත් විය (17-17).

ඉන්පසුව නැවත වරක් ක්‍රියාත්මක වූ අබුඩාබි ක්‍රීඩකයෝ මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් අභියෝගයට ලක් කරමින් ප්‍රවේගකාරීව ක්‍රීඩා කරන්නට වූ අතර ඒ අනුව ප්‍රතිවාදී ධවල රේඛාව දෙවරක් තරණය කරමින් උත්සාහක දිනුම් දෙකක් සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් විය. එම උත්සාහක දිනුම්වලින් එක් ප්‍රවර්තනයක් පමණක් සාර්ථක විය (29 -17).

කෙසේ නමුත් කවදත් තරගයක් අවසානය වන තෙක් අත්නොහරින මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රතිවාදී ලකුණු පුවරුව සම කරන්නට උත්සාහ කළේය.

දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තුවේ දී ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජයේ ලවංග පෙරේරා ලබා ගත් විශිෂ්ට උත්සාහක දිනුම හේතුවෙන් ලකුණු පුවරුව සම කරන්නට මහනුවර කණ්ඩායමට සමත් විය. (29-29).

ඉන්පසු දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ දී කණ්ඩායම් ද්විත්වයම තරගය ජයග්‍රහණය කරන්නට මාන බැලූ නමුත් තරගයට කාලය හරස් විය. විනිසුරුවරයා විසින් තරගය අවසන් කිරීමට නළාව නාද කරන විට කණ්ඩායම් ද්විත්වයම සම තත්වයේ පසු වූ බැවින් තරගයේ ජය පරාජය දෙපිල අතරේ සමව බෙදී ගියේය.

දෙවැනි අර්ධය: අබුඩාබි කණ්ඩායම 29 – 29 මහනුවර ක්‍රීඩා සමාජය

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට