ඊයේ හයිද්‍රාබාද් හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ජය හඬ මධ්‍යයේ තෙවැනි වරටත් අයි.පී.එල් කිරුළ තමන් සතුකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ඒ ප්‍රතිවාදී රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායමට එරෙහිව අවසාන පන්දුවේ දී එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි.

මුම්බායි අවසන් සටනට; රනින් කැටයම් කළ කුසලානය කාට ද?

ප්‍රතිවාදී කල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයින්ට එරෙහිව සුපිරි තරග රටාවක්..

කාසියේ වාසිය දිනා ගෙන මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මුහුණ දීමට සිදුවූයේ නොසිතූ ගැටලුවකටයි. ඒ ආක්‍රමණශීලීව පන්දු යැවූ රයිසින් පූනේ ක්‍රීඩකයින් හමුවේ ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 7ක්ම ලකුණු 79ක් තුල දී බිඳ වැටුණු බැවිනි. ඒ අතරට පන්දු යැවීමේ හැකියාව නිසා බිඳ වැටුණු කඩුලු මෙන්ම සියතින් ගෙල සිඳගත් අවස්ථා කිහිපයක් ද ඇතුළත් විය. විශේෂයෙන්ම ඊයේ අම්බති රයිදු (12) සහ කරන් ශර්මා (01) දැවී ගියේ අනවශ්‍ය පරිදි කඩුලු අතර දුව යාමට දැරූ උත්සාහය අසාර්ථක වීමත් සමඟයි.

මුම්බායි පිළ බලාපොරොත්තු තබා තිබූ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ලෙන්ඩ්ල් සිමන්ස් සහ පාතිව් පටෙල් තනි ඉලක්කමේ ලකුණුවලට ජාදෙව් උනද්කට් හමුවේ දැවී යාමත් සමඟ නැවතත් මුම්බායි ඉනිම ගොඩ නැගීමේ වගකීම හිමිවන්නේ නායක රෝහිත් ශර්මාට සහ කෘනාල් පාණ්ඩ්‍යාටයි. පසුගිය තරගවල දී සෑහෙන තරම් සාර්ථක ලෙස ඔවුන් දෙදෙනා තම යුතුකම් කොටස ඉටු කර තිබුනත් ඊයේ දිනයේ ඔවුන් අතර ගොඩ නැගෙන්නේ ලකුණු 15ක කෙටි සබඳතාවයක් පමණි. ඇඩම් සැම්පාගේ පන්දුවක් හමුවේ රෝහිත් ශර්මාගේ ඉනිම ඊයේ ලකුණු 24කට සීමා විය.

කිරන් පොලාර්ඩ් සහ හාර්දික් පාණ්ඩ්‍යා වැනි පිතිකරුවන්ට ද ඊයේ වැඩි වේලාවක් පිටියේ රැඳී සිටින්නට පූනේ පන්දු යවන්නන්ගෙන් ඉඩකඩක් උදා නොවීය. කෙසේ වෙතත් 8 වැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් පිහිටුවමින් මුම්බායි ඉනිමට යම් තරමක හෝ බලාපොරොත්තුවක් ගෙන එන්නට කෘනාල් පාණ්ඩ්‍යා සහ මිචෙල් ජොන්සන් සමත් විය. පන්දු 38ක් තුල දී කෘනාල් පාණ්ඩ්‍යා රැස්කළ ලකුණු සංඛ්‍යාව 47කි. ඊට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. මිචෙල් ජොන්සන් ලකුණු 13යි.

ලකුණු 100කටත් අඩුවෙන් දැවී යන්නට තිබූ මුම්බායි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 130ක් දක්වා රැගෙන යන්නට මොවුන් දෙදෙනාගේ පිතිකරණ දක්ෂතා මහෝපකාරී විය. ඒ අවසන් තරගයක ගැබ්වී ඇති පීඩනයත් සමඟින් යම් සටනක් ලබා දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ඔවුන් ලකුණු පුවරුව මත සනිටුහන් කළ බැවිනි. පන්දු යැවීමේ දී ජාදෙව් උනද්කට්, ඇඩම් සැම්පා සහ ඩැනියෙල් ක්‍රිස්ටියන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ඒ අනුව අයි.පී.එල් කුසලානයේ පහස විඳ ගැනීම සඳහා ලකුණු 131ක බැරෑරුම් නොවූ ඉලක්කයක් හිමිවුණු රයිසින් පූනේ ක්‍රීඩකයෝ තරමක් සංයමයකින් යුතුව ඉනිම ගොඩ නැගීමේ අදහසින් පිටියට පිවිසියහ. මුම්බායි පිතිකරුවන් මෙන් නිකරුණේ කඩුලු පූජා නොකළ ඔවුන් පන්දුවාර 12ක් ගතවන විටත් කඩුලු 2කට ලකුණු 71ක් රැස්කර ගනිමින් ජයග්‍රහණයට ආසන්න වෙමින් සිටියහ. ආරම්භක පිතිකරණ භූමිකාවේ වගකීම අකුරටම ඉටු කළ අජින්ක්‍යා රහානේගේ පිත්තෙන් ඊයේ පූනේ ලකුණු පුවරුවට ලකුණු 44ක් එක්විය. පන්දු 38ක් වැයවුණු ඔහුගේ ඉනිමට අඩංගු වුනු හතරේ පහර සංඛ්‍යාව 5කි.

කෙසේ වෙතත් රාහුල් ත්‍රිපති සහ එම්. එස්. දෝනි යන ක්‍රීඩකයින්ට පිත්තෙන් වැඩි යමක් කිරීමට මුම්බායි පන්දු යවන්නන්ගෙන් ඉඩක් ලැබුණේ නැත. තරගයේ අවසන් පන්දුවාර 4න් 3ක් ක්‍රියාත්මක කළ ජස්ප්‍රිට් බුම්රාහ් සහ ලසිත් මාලිංග එහි දී ලකුණු 22ක් පමණක් ලබාදෙමින් පූනේ කණ්ඩායමට අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 11ක ඉලක්කයක් සකසා දුන්නේය. ඒ වන විට අනෙකුත් පන්දු යවන්නන් තම පන්දුවාර 4ම යවා අවසන් කර තිබූ නිසා අවසන් පන්දු වාරය යැවීමේ භාරදූර වගකීම හිමිවන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ජොන්සන්ටයි.

මේ වන විටත් පූනේ කණ්ඩායමට ජය ගෙන දීමේ අභිප්‍රායෙන් අර්ධ ශතකලාභී ස්ටීවන් ස්මිත් සහ මනෝජ් තිවාරි තණතිල්ල මත රැඳී සිටීම නිසා මුම්බායි කණ්ඩායමට එල්ල වී තිබුණු පීඩනය ද සුළුපටු නොවේ. එම පීඩනය දෙගුණ තෙගුණ කරමින් අවසන් පන්දුවාරයේ පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරන්නට මනෝජ් තිවාරි සමත් විය. කෙසේ වෙතත් මීළඟ පන්දු දෙකේ දී තිවාරි සහ ස්මිත් දෙදෙනාවම දවා ගනිමින් අවසන් තරගය කණපිට පෙරලන්නට ජොන්සන් සමත් විය.

ඒ අනුව අවසන් පන්දුවේ දී ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියෙල් ක්‍රිස්ටියන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 4ක් ලබාගත යුතු විය. එහි දී ජොන්සන්ගේ වමතින් ගිලිහුණු පන්දුව ඩීප් ස්ක්වෙයාර් ලෙග් කලාපයට යොමු කරමින් පිතිකරුවන් දෙදෙනා ලකුණු 3ක් ලබාගෙන තරගය සමකර ගැනීමට උත්සාහ දැරූවද මුම්බායි පන්දු රකින්නන් එම සැලසුම ව්‍යර්ථ කර දැමූහ. ඒ තෙවැනි ලකුණු කරා වේගයෙන් දුව යාමට උත්සාහ කළ වොෂින්ටන් සුන්දර්ගේ කඩුල්ල බිඳ දමමිනි. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක් කඩුල්ලක තියුණු ජයක් හිමි විය.

පන්දු යැවීමේ දී මිචෙල් ජොන්සන් ලකුණු 26ට කඩුලු 3ක් දවා ගනිද්දී ජස්ප්‍රිට් බුම්රාහ් ලකුණු 26කට කඩුලු ද්විත්වයක් බිඳ හෙලීය. ඊයේ කඩුලු දවා ගැනීමට හැකි නොවූවද ඉතාමත් අපහසු පන්දුවාර 4ක් ක්‍රියාත්මක කරමින් එහි දී පූනේ පිතිකරුවන්ව ලකුණු 21කට සීමා කිරීමට ලසිත් මාලිංග සමත් විය. අවසන් තරගයේ වීරයා සම්මානය තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ කෘනාල් පාණ්ඩ්‍යාට හිමි විය.

“මෙය මැරතන් තරගයක්. ඔබ කොයි විදිහට ආරම්භ කළත් වැදගත් වෙන්නේ ඔබ එය අවසන් කරන ආකාරයයි. ඇත්තෙන්ම මට වඩා මෙහි ගෞරවය ඔවුන්ට (මුම්බායි ක්‍රීඩකයින් පෙන්වමින්) හිමි විය යුතුයි. කණ්ඩායමේ සෑම කෙනෙක්ම ජයග්‍රහණය වෙනුවෙන් කැපවුනා.” මහේලගේ මෙම නිහතමානී ප්‍රකාශය අගය කරමින් හිටපු මුම්බායි ඉන්දියන්ස් නායක සචින් ටෙන්ඩුල්කාර් පවසා සිටියේ තරගයේ තීරණාත්මක කොටසේ දී මහේල තම ක්‍රීඩකයින්ගේ ධෛර්යය ඉහළ නංවමින් කටයුතු කළ ආකාරය ඉතාමත් ප්‍රශංසනීය බවයි. එසේම ඔහු වසර 10ක් තිස්සේ මුම්බායි කණ්ඩායමට අපරිමිත සේවයක් ඉටු කළ ලසිත් මාලිංගව ද කෘතවේදීව සිහිපත් කර සිටියේය.

ඒ අනුව අයි.පී.එල් ඉතිහාසයේ අති සාර්ථක කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් පිළ 2013, 2015 සහ 2017 වර්ෂවල දී ශූරතාවය දිනා ගැනීමට සමත්ව සිටියි. මෙවර අවසන් තරගයේ දී මුල් කොටසේ දී සියලු බලාපොරොත්තු බිඳ වැටුනත් නැවතත් ඔවුන් ශක්තිමත්ව තරගයට පිවිසුණු ආකාරය විශ්මයජනක විය. එම විශිෂ්ට ජයග්‍රහණය පසුපස පුහුණුකරු වශයෙන් මහේල ජයවර්ධන ද ප්‍රධානතම වේග පන්දු යවන්නෙකු වශයෙන් ලසිත් මාලිංග ද සිටීම ශ්‍රී ලාංකිකයන්ට සතුටු විය හැකි කරුණු වේ.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 129 (පන්දුවාර 20): කෘනාල් පාණ්ඩ්‍යා 47, රෝහිත් ශර්මා 24, මිචෙල් ජොන්සන් 13*, අම්බති රයිදු 12, හාර්දික් පාණ්ඩ්‍යා 10, ජාදෙව් උනද්කට් 2/19, ඇඩම් සැම්පා 2/32, ඩැනියෙල් ක්‍රිස්ටියන් 2/34.

රයිසින් පූනේ – කඩුලු 6ක් දැවී ලකුණු 128 (පන්දුවාර 20): ස්ටීවන් ස්මිත් 51, අජින්ක්‍යා රහානේ 44, එම්.එස්. දෝනි 10, මනෝජ් තිවාරි 7, මිචෙල් ජොන්සන් 3/26, ජස්ප්‍රිට් බුම්රාහ් 2/26.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී සම්මාන දිනා ගත් ක්‍රීඩකයින්

  1. වැඩිම ලකුණු (තැඹිලි පැහැ හිස්වැස්ම) – ඩේවිඩ් වෝනර් (SRH) – ලකුණු 641
  2. වැඩිම කඩුලු (දම් පැහැ හිස්වැස්ම) – බුවනේශ්වර් කුමාර් (SRH) – කඩුලු 26
  3. වැඩිම හයේ පහර සංඛ්‍යාව – ග්ලේන් මැක්ස්වෙල් (KXIP) – හයේ පහර 26
  4. වේගවත්ම අර්ධ ශතකය – සුනිල් නරෙයින් (KKR) – පන්දු 15
  5. හොඳම පහර – යුවරාජ් සිං (SRH)
  6. හැඩකාර ක්‍රීඩකයා – ගෞතම් ගම්බීර් (KKR)
  7. විනයානුකූලම කණ්ඩායම – ගුජරාට් ලයන්ස්
  8. හොඳම නැගී එන ක්‍රීඩකයා – බැසිල් තම්පි (GL)
  9. වටිනාම ක්‍රීඩකයා – බෙන් ස්ටෝක්ස් (RPS)
  10. හොඳම උඩපන්දුව – සුරේෂ් රයිනා (GL)

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට