ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් ලබා ගැනීමට එංගලන්තය අද (14) සමත් වුනා.
එංගලන්තයේ Lords ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය එංගලන්ත නායක Ben Stokes සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව එංගලන්තය තරගයේ පළමු ඉනිම ආරම්භ කළා.
මෙහි දී එංගලන්තය විසින් සියලු දෙනා දැවී ලකුණු 387ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් Joe Rootගේ පිත්තෙන් ලකුණු 104ක් එක් වුනා.
මීට අමතරව Jamie Smith ලකුණු 51කින් සහ Brydon Carse ලකුණු 56කින් ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා. මේ අතර ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Jasprit Bumrah විසින් කඩුලු 05ක් බිඳ හෙළීමට සමත් වුනා.
මීට පිළිතුරු වශයෙන් ඉන්දීය පිතිකරුවන් ද සියලු දෙනා දැවී ලකුණු 387ක් ලබා ගැනීමට සමත් වුනේ මෙම තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවට ඉඟි පළ කරමිනුයි.
මෙහි දී ඉන්දියාව වෙනුවෙන් නැවතත් පිත්තෙන් සාර්ථක වූ KL Rahul ලකුණු 100ක් ලබා ගන්නා අතරේ, Rishabh Pant ලකුණු 74ක් සහ Ravindra Jadeja ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වුනා. එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Chris Woakes කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මින් අනතුරුව එංගලන්තය විසින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, මෙහි දී ඔවුන් සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුනේ ලකුණු 192ක් පමණයි. මේ වෙනුවෙන් නැවතත් සිය පිත්තෙන් සාර්ථක වූ Joe Root ලකුණු 40ක් එක් කළා.
ඉන්දියාව වෙනුවෙන් Washington Sundar කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වීමත් විශේෂත්වයක්.
මින් අනතුරුව ඉන්දීය කණ්ඩායම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 193ක ඉලක්කයක් හඹා යාමට ආරම්භ කල අතර, ඊයේ (13) දිනය නිමා වන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 58ක් ලබා සිටියා.
අද දිනය ආරම්භ වීමෙන් පසුව ඉන්දීය ලකුණු පුවරුව වරෙක කඩුලු 7කට ලකුණු 82ක් ලෙස දිස් වූ අතර, තරගය එංගලන්තයට පහසුවෙන් ජය ගත හැකි වගක් පෙනෙන්නට තිබුණා.
නමුත් මේ මොහොතේ ඉන්දීය පසු පෙළ පිතිකරුවන් සමඟ එක් වී ඉතා සංයමයෙන් යුතුව පිත්ත හසුරුවමින් සිය අර්ධ ශතකයක් ද පසු කර ගිය Ravindra Jadeja නැවතත් තරගයේ වාසිය ඉන්දියාව දෙසට හැරවීමට සමත් වුනා.
Jadeja කිසිඳු මොහොතක සිය කඩුල්ල පූජා කරනා බවක් හෝ ඊට ඉඟියක් හෝ ලබා නොදෙමින් ඉතා ඉවසිලිවන්ත ඉනිමක් දියත් කිරීමට සමත් වූ අතර, ඒත් සමඟම ඉන්දීය ඉනිම ලකුණු 170 සීමාවට ද ගෙන ඒමට ද සමත් වුනා.
ඒ වන විට Jadeja විසින් පන්දු 181ක් තුළ ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඉන්දීය කණ්ඩායමට තරගයේ ජය සඳහා ලබා ගැනීමට ඉතිරි වී තිබුණේ තවත් ලකුණු 23ක් පමණයි.
මේ මොහොතේ එංගලන්තය වෙනුවෙන් පන්දුව අතට ගත් Shoaib Bashir විසින් යැවූ පන්දුවක් ඉන්දීය අවසන් පිතිකරු Mohammed Sirajගේ පිත්තේ වැදී පසුව සෙමෙන් කඩුල්ල වෙත ගොස් එහි වැදී කඩුල්ලේ බේලය ඉවත් කිරීමට සමත් වුනා.
මෙම පන්දුව යොමු කළ Bashir පන්දු යොමු කිරීම සිදු කළේ සිය බිඳුණු ඇඟිල්ලේ ආබාධය ගැන ද නොසලකමින් වීම විශේෂත්වයක්.
මේ අනුව Sirajගේ ඉනිම ලකුණු 04කට සීමා වූ අතර, ඔහු ඒ වෙනුවෙන් පන්දු 30කට මුහුණ දුන්නා.
එම දැවී යාමත් සමඟින් ම එංගලන්තයට තරගයෙන් ලකුණු 22ක ජයක් උරුම වුනා.
ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගය ආරම්භයේ පටන් ම දෙපිළට ම දෝලනය වෙමින් පැවතුණු අතර, එහි අවසන් තීරණය ලැබුණු අවස්ථාව, අවසන් කඩුල්ල ලෙස දැවී යාමට හසු වූ Sirajගේ දෑස් කඳුළින් තෙත් කිරීමට සමත් වුනා. නමුත් සියලු සිදුවීම්වල අවසානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් හිණිපෙත්තේ රැඳෙමින් සදා කල් වැජඹිය යුතු බව සනාථ වුනා.
මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<