සම සත්කාරකයන්ගේ 2025 ලෝක කුසලාන වන්නම්

6
ICC Women's World Cup

13 වැනි කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වේලාසනින් ම තම කාර්යයන් හමාර කළ කණ්ඩායම් ද්විත්වයෙන් එකක් වූයේ සම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි. 7 වැනි වරටත් මෙම තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකාව, මෙවර තරගාවලිය නිමා කරන්නේ ජයගත් තරගයක්, පරාජිත තරග 3ක් සහ නොවිසඳුණ තරග 3ක් ලෙසින් ඉතිහාසයට එක් කරමින්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 2025 ලෝක කුසලාන ගමන මඟ

ප්‍රතිවාදීන් තරගයේ විසඳුම පිටිය තරගයේ වීරයා
1 ඉන්දියාව ඉන්දියාවට ලකුණු 59ක ජයක්. Guwahati Deepti Sharma
2 ඕස්ට්‍රේලියාව තරගයේ විසඳුමක් නෑ. කොළඹ
3 එංගලන්තය එංගලන්තයට ලකුණු 89ක ජයක්. කොළඹ Nat Sciver-Brunt
4 නවසීලන්තය තරගයේ විසඳුමක් නෑ. කොළඹ
5 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවට කඩුලු 10ක ජයක්. කොළඹ Laura Wolvaardt
6 බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලකුණු 7ක ජයක්. DY Patil හසිනි පෙරේරා
7 පාකිස්තානය තරගයේ විසඳුමක් නෑ. කොළඹ

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර තරගාවලිය ආරම්භ කරන්නට වෙන්නේ අනෙක් සම සත්කාරකයන් වූ ඉන්දීය කණ්ඩායම සමඟිනුයි. ඔවුන් ඒ වන විට කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ සුවිශේෂී දක්ෂතා දක්වන කණ්ඩායමක් බවට පත් ව සිටි අතර ආසියානු කලාපයේ ආදිපත්‍යය ද ඔවුන් සතු වූවා.

>>Stats : ඉනෝකා සහ උදේශිකා ජ්‍යෙෂ්ඨයන් අතර පෙරමුණ ගනී<<

එය ඔවුන් නැවතත් සනාථ කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි ව ලෝක කුසලාන ඉතිහාසයන් හී ලබා ගත් ඉහළ ම  ඉනිම වාර්තා කරමිනුයි. එම තරගයෙන් ඉන්දියාවට පහසු ජයග්‍රහණයක් හිමි වෙන අතර තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ Deepti Sharma ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රතිවාදිනිය බවට පත් වූවා.

එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ උදේශිකා ප්‍රබෝධනී කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ කඩුල්ලක් දවා ගත් වයස්ගත ම පන්දු යවන්නිය බවට පත් වීමට සමත් වූ අතර ඉනෝකා රණවීර ලෝක කුසලාන තරග ඉතිහාසයක කඩුලු 4ක් දවා ගත් වයස්ගත ම ක්‍රීඩිකාව බවට ද පත් වූවා.

එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එපමණක් ම පමණක් ඉතිරි වූ අතර ඉන් අනතුරු ව ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ ලෝක එක්දින කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතර 1 වැනි ස්ථානයේ සිටි ඔස්ට්‍රේලියාවයි.

කොළඹ දී පැවැත්වීමට නියමිත වූ මෙම තරගය එකඳු හෝ පන්දුවක් නොයවමින් අතහැර දැමුණා. පළමු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 59ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මෙම අතහැර දැමුණ තරගයෙන් ප්‍රසාද ලකුණක් හිමි වෙනවා.

>>එංගලන්තය, ශ්‍රී ලංකාව පරාජය කරයි<<

අනතුරු ව ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වෙන්නේ ලෝක එක්දින කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතර 2 වැනි ස්ථානය හිමිකර ගෙන සිටි එංගලන්ත කණ්ඩායමයි. මෙම තරගයේ දී දරාගත නොහැකි ඉනිමක් ක්‍රීඩා කරන ප්‍රතිවාදී නායිකා Nat Sciver-Brunt ගේ දක්ෂතා මෙන් ම ශ්‍රී ලංකා පිතිකාරිනියන්ගේ දීර්ඝ ඉනිම් නොවීම ද ශ්‍රී ලංකාවේ පරාජයට බලපෑවා.

එම තරගයෙන් පසුව නවසීලන්තය සමඟ පැවැති තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන විනාශ කළ ප්‍රධාන තරගය බවට පත් වුණා. එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 258ක් ලබා ගනිමින් යහපත් මානසිකත්වයෙන් ප්‍රතිවාදීන්ට පිළිතුරු ඉනිම බාර දෙනවා.

නමුත් එතැන් සිට තරගය ඉදිරියට පත්වාගෙන යෑමට තරම් යහපත් කාලගුණ තත්ත්වයක් “කොළඹ පිටියේ” පැවැතියේ නැහැ. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන වලකාලීමට එල්ල වූ අකුණු පහරක් බඳු සිදුවීමක් බවට පත් වුණා.

>>නිලක්ෂිකාගේ වේගවත් ඉනිමට වර්ෂාවෙන් කෙනෙහිළි<<

කෙසේ වෙතත් එම තරගයේ දී මෙවර ලෝක කුසලාන තරගාවලියේ වේගවත් ම අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය මෙන් ම තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 1000 කඩඉමට පිවිසීමේ ගෞරවය ද නිලක්ෂිකා සිල්වා සතු කර ගත්තා.

තරගාවලියේ පහසුවෙන් ම ඉදිරියට යෑමේ අවස්ථාව වර්ෂාව හේතුවෙන් අහිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ඊළඟ ප්‍රතිවාදීන් බවට පත් වෙන්නේ ලෝක එක්දින කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතර සිව් වැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාවයි.

පළමු තරගයෙන් කඩුලු 10ක අන්ත පරාජයකට මුහුණ දුන්න ද ඉන් අනතුරු ව පැවැති තරග ත්‍රිත්වය ජයග්‍රහණය කරමින් මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් ලෙසින් වර්ගීකරණයට ලක් ව සිටි ඔවුන් හා තරගයේ වාසිදායක තීරණයක් ලබා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමනට වඩාත් වැදගත් වූවා.

නමුත් පැවැති අයහපත් කාලගුණ තත්ත්වයන් මධ්‍යයේ තරගය පන්දුවාර 20.0කට සීමා වෙමිනුයි පැවැතෙන්නේ. එහි දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නා දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනේ බලාපොරොත්තු හිත්පිත් නොමැතිව සුං කර දමන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ 7 වැනි ස්ථානයට ද ඇද දමමිනුයි.

>>දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකා ඉලක්කය පහසුවෙන් පසු කරයි<<

ඉන් අනතුරු ව සම සත්කාරකයන්ට සිදු වෙන්නේ ගෞරවනීය ව තරගාවලිය අවසන් කිරීමේ අභියෝගයට මුහුණ දීමටයි. ඒ වෙද්දී ඔවුන්ට ඉතිරි ව තිබුණේ බංග්ලාදේශය සහ පාකිස්තානය සමඟ තරග පමණයි.

ඒ අතුරින් බංග්ලාදේශය සමඟ තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දියාවේ DY Patil ක්‍රීඩාංගණය වෙත යනවා. බංග්ලාදේශය ඒ වෙද්දී තම පළමු තරගයේ දී ම පාකිස්තානුවනුවන්ට එරෙහි ව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරමක් ඉපිළි සිටියා.

එම තත්ත්වය ශ්‍රී ලංකාව හා සමඟ තරගයේ ආරම්භයේ සිට ම පවත්වාගෙන යෑමට ඔවුන් සමත් වූවා. ශ්‍රී ලංකාව සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 202ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ඔවුන් 46 වැනි පන්දුවාරයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණයට ආසන්න ව සිටියා.

ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් එතැන් සිට අවශ්‍ය වූයේ පන්දු 29ක දී ලකුණු 27ක් පමණයි. අනතුරු ව එය පන්දු 8ක දී කඩුලු 5ක් අතැතිව ලකුණු 10ක් බවට පත් වූ අතර අවසන් පන්දුවාරයේ දී එය ලකුණු 9ක් බවට පත් වුණා.

එහි දී දශක එකහමාරක ජාත්‍යන්තර තරග 267ක අත්දැකීම් උපයෝගී කරගනිමින් පන්දු යැවීමේ වගකීම බාරගත් නායිකා චමරි අතපත්තු තවත් ලකුණු 7ක් ඉතිරි කරගනිමින් ප්‍රතිවාදීන්ගේ හඹා යෑම නතර කරනවා.

එම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානය දක්වා ඉහළ නගින අතර බංග්ලාදේශයට 8 වැනි ස්ථානය දක්වා පහත බැසීමට සිදු වෙනවා.

ජයග්‍රාහී එම තරගයේ දී චමරි අතපත්තු තම 146ක් වූ එක්දින තරග ඉතිහාසයේ ලකුණු 4000 කඩඉම මෙන් ම කඩුලු 50 කඩඉම ද පසු කිරීමට සමත් වෙන අතර තම 60 වැනි එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූ හසිනි පෙරේරා ලකුණු 1000 කඩඉමට පිවිසීමට ද සමත් වෙනවා.

>>චමරි සහ හසිනි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යයි<<

එම තරග ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගාවලියේ තව දුරටත් ඉදිරි ගමනක් නොවූ අතර ඉතිරි ව තිබුණේ පාකිස්තානය හා සමඟ තරගය පමණයි. එම තරගය ජයග්‍රහණය කළ ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගාවලියේ ඉදිරියට යෑමේ මඟ ඇහිරී තිබුණා. ඊට හේතු වී තිබුණේ, ඒ වෙද්දී ඕස්ට්‍රේලියාව (11), දකුණු අප්‍රිකාව (10), එංගලන්තය (9) සහ ඉන්දියාව (6) ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියට යන කණ්ඩායම් 4 බවට පත් ව තිබූ බැවිනුයි. අනෙක් අතට ඔවුන්ට තවත් තරගයක් බැගින් ඉතිරි ව තිබුණා.

එම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව කොළඹ අහස යට දී මෙවර තරගාවලියේ එකඳු හෝ තරගයක් ජයග්‍රහණය කිරිමට නොහැකි වූ අවාසනාවන්ත ම කණ්ඩායම වූ පාකිස්තානය හමු වූවා. එය මෙවර තරගාවලියේ මෙරට දී පැවැති අවසන් තරගයයි.

එම තරගය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ තවත් තරගයක් බවට පත් වූ අතර තරගය පැවැතියේ පන්දු 18ක් පමණයි.

නොවිසඳුණ තරගයක් ලෙසින් අවසන් වූ එම තරගයෙන් පසුව සැකසුන ප්‍රසාද ලකුණු පුවරුවේ ශ්‍රී ලංකාව තවත් පියවරක් ඉදිරියට පනින්නට සමත් වෙන අතර ඔවුන් ට ඒ අනුව හිමි වූයේ එතෙක් 5 වැනි ස්ථානයේ රැඳී සිටි නවසීලන්තයේ අසුනයි. ශ්‍රී ලංකාවේ මේ පිං පිම්ම හේතුවෙන් එතෙක් එම අසුන අරාසිටි නවසීලන්තයට තවත් තරගයක් තිබිය දී පියවරක් පසු පසට වෙන්නට සිදු වූවා.

පාකිස්තානය ද ලැබූ ප්‍රසාද ලකුණත් සමඟින් එක් පියවරක් ඉදිරියට පිවිසෙමින් 7 වැනි අසුන හිමිකර ගත්තා.

>>ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයටත් කොළඹ වැස්ස හරස් වෙයි<<

තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෑ සුවිශේෂී දක්ෂතා

258/6 (50.0) : තරගාවලියේ ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව නවසීලන්තයට එරෙහි ව.

164/10 (45.4) : තරගාවලියේ ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාව එංගලන්ත කණ්ඩායම හමුවේ.

480 : කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ඉන්දියාව සමඟින්.

7 runs : තරගාවලියේ ලබා ගත් ඉහළ ම ජයග්‍රහණය, බංග්ලාදේශයට එරෙහි ව.

තරගාවලියේ වැඩිම ලකුණුලාභිනියන් 5 දෙනා

Player Mat Inns NO Runs HS Ave 50 4s 6s
1 හසිනි පෙරේරා 6 5 0 182 85 36.40 1 25 1
2 චමරි අතපත්තු 6 5 0 168 53 33.60 1 21 5
3 නිලක්ෂිකා සිල්වා 6 5 1 168 55* 42.00 1 16 4
4 හර්ෂිතා සමරවික්‍රම 6 5 0 105 33 21.00 0 10 0
5 විශ්මි ගුණරත්න 6 5 0 97 42 19.40 0 11 0

85 : තරගාවලියේ පිතිකාරිනියක් ඉනිමක දී රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව හසිනි පෙරේරා, බංග්ලාදේශයට එරෙහි ව.

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් 3 දෙනා

Player Mat Inns Overs Mdns Runs Wkts Best Ave
1 ඉනෝකා රණවීර 6 4 32.0 1 145 7 4/46 20.71
2 චමරි අතපත්තු 6 4 21.0 0 109 5 4/42 21.80
3 උදේශිකා ප්‍රබෝධනී 3 3 26.0 2 139 5 2/55 27.80

4/42 (10.0) : තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම චමරි අතපත්තු, බංග්ලාදේශයට එරෙහි ව.

101 : තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාව විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු, නවසීලන්තයට එරෙහි ව.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<