ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයටත් කොළඹ වැස්ස හරස් වෙයි

ICC Women's World Cup

34

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර අද (24) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති දිවා/රාත්‍රී තරගය වර්ෂාව හේතුවෙන් අතර මඟ දී අතහැර දැමුණා.  

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වූ අතර එය පළමුවෙන් පන්දුවාර 38ක තරගයක් ලෙසින් 5.40ට ආරම්භ කිරීමට නියමිත වූවා. නමුත් නැවත වර්ෂාව පතිත වීම හේතුවෙන් තරගයේ ආරම්භය 6.15 දක්වා දීර්ඝ වූ අතර එවර තරගය පන්දුවාර 34කට සීමා වූවා.  

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළ අතර පෙර තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් ව සිටි උදේශිකා ප්‍රබෝධනී ඉවත් කරමින් මෙම තරගයේ දී දෙව්මි විහංඟා කැඳවා තිබුණා.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවිශා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, දෙව්මි විහංඟා, මල්කි මදාරා සහ ඉනෝකා රණවීර. 

 

පාකිස්තානය කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

Fatima Sana (නායිකාව), Muneeba Ali (කඩුලු රකින්නිය), Omaima Sohail, Sidra Amin, Eyman Fatima,Natalia Pervaiz, Syeda Aroob Shah, Rameen Shamim, Aliya Riaz, Nashra Sandhu, Sadia Iqbal.

එලෙසින් ආරම්භ වූ තරගය පැවැත්වෙන්නේ පන්දුවාර 4.2ක් පමණක් වන අතර නැවත වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට සිදු වෙනවා. ඒ වෙද්දී පාකිස්තානය කිසිවෙක් නොදැවී ලකුණු 18ක් ලබා සිටියා. 

එතැන් සිට නැවත තරගය ආරම්භ කිරීමට හැකි තත්ත්වයක් උදා නොවීම හේතුවෙන් පිටියේ විනිසුරුවන් විසින් තරගය අතහැර දැමුණා. ඒ අනුව දෙපිලට ම ප්‍රසාද ලකුණ බැගින් හිමි වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 5ක් ද සහ පාකිස්තානය ප්‍රසාද ලකුණු 3ක් ද ලබා ගනිමින් මෙවර ලෝක කුසලාන ගමන නිමා කළා.  

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට සේ ම පාකිස්තානයට ද වර්ෂාව හේතුවෙන් තරග 3ක් බැගින් අහිමි වූ අතර ශ්‍රී ලංකාව සහභාගී තරග 7න් බංග්ලාදේශය තරගය පමණක් ජයග්‍රහණය කළ අතර ඉන්දියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් වුණා. ඒ අනුව ඔවුන් තරගාවලිය අවසන් කරන්නේ 5 වැනි ස්ථානයට පත් වෙමින්.  

පාකිස්තානය තමන් සහභාගී වූ තරග 7 නිමා කරන්නේ කිසිදු තරගයක් ජයග්‍රහණය නොකරමින් වන අතර වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොර වූ තරග 3න් හිමි වූ ප්‍රසාද ලකුණු 3ත් සමඟින් ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ 7 වැනි ස්ථානය හිමිකර ගෙන සිටිනවා.  

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් තරග 10ක සත්කාරකත්වය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය දැරූ අතර ඒ අතුරින් තරග 4ක් වර්ෂාවට බිලි වූ අතර අනෙක් තරගවල දී බංග්ලාදේශය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය එක් තරගය බැගින් ද සහ දකුණු අප්‍රිකාව තරග ද්විත්වයක් ද ජයග්‍රහණය කරමින් අවසන් කරනවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව  

පාකිස්තානකාන්තා ක්‍රිකට්කණ්ඩායම – කිසිවෙක් නොදැවී 18 (4.2) Muneeba Ali නොදැවී 7, Omaima Sohail නොදැවී 9

තරගයේ විසඳුමක් නෑ.  

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<