එංගලන්තය, ශ්‍රී ලංකාව පරාජය කරයි

109
ICC Women's World Cup

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර අද (11) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් ලකුණු 89ක ජයග්‍රහණයක් ලබා ගැනීම එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

මෙම තරගය ශ්‍රී ලංකා කාන්තා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 200 වැනි තරගයයි.

අද පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී එංගලන්ත ක්‍රීඩිකාවන් සතු කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 253ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 164ක් පමණයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවිශා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), දෙව්මි විහංඟා, සුගංද්කා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී සහ ඉනෝකා රණවීර.

 

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Nat Sciver-Brunt (නායිකාව), Amy Jones (කඩුලු රකින්නිය), Tammy Beaumont, Heather Knight, Sophia Dunkley, Emma Lamb, Alice Capsey, Charlie Dean, Sophie Ecclestone, Linsey Smith, Lauren Bell.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නායිකා Nat Sciver-Brunt පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 117ක් ලබා ගන්නවා. එය ඇයගේ තරග 123ක් වන ජාත්‍යන්තර එක්දින තරගවල 10 වැනි ශතකයයි.

ඇයගේ එම ඉනිමට අමතර ව Tammy Beaumont පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 32ක් ද සහ Heather Knight පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ඉනෝකා රණවීර ලකුණු 33කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව උදේශිකා ප්‍රබෝධනී සහ සුගන්ධිකා කුමාරි කඩුලු 2ක් බැගින් ද, කවිශා දිල්හාරි කඩුල්ලක් ද දවා ගන්නවා.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ හසිනි පෙරේරා සහ චමරි අතපත්තු විසිනුයි. ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ලට ලකුණු 18ක් එක් කරද්දී නායිකා චමරි අතපත්තු ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වෙනවා.

ඒ වෙද්දී ඇය පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලබා සිටියේ ලකුණු 7ක් පමණයි. ඇය පිටියෙන් ඉවත් වීමත් සමඟින් පිටියට එක් වූයේ විශ්මි ගුණරත්න.

ලකුණු 37ක් වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් විශ්මි ගුණරත්න දැවී යනවා. ඒ වෙද්දී ඇය පන්දු 9කට මුහුණ දී සිටි අතර හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා සිටියා.

ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසියේ හර්ෂිතා සමරවික්‍රම. ඇය පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා ගන්නා ලද අතර එය එම ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.

ඊට පසුව කවීශා දිල්හාර ද ලකුණු 4කට දැවී ගිය අතර ඒ වන විට ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 3ත් ලෙසයි. එතැන් සිට ශ්‍රී ලංකා ඉනිම සීග්‍රයෙන් බැස යන අවසානයක් කරා යමින් සිටි අතර ඔවුන්ට එහි වෙනසක් කිරීමට හැකි වෙන්නේ නැහැ.

එහි දී නිලක්ෂිකා සිල්වා ද පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත් අතර අනෙකුත් පිතිකාරිනියන් වූ චමරි අතපත්තු (15), අනුශ්කා සංජීවනී (10), දෙවිමි විහංඟා (3), සුගන්දිකා කුමාරි (4) උදේශිකා ප්‍රබෝධනී (0) සහ ඉනෝකා රණවීර (නොදැවී 3) ගේ ඉනිම් අඩු ලකුණුවලට සීමා වුණා.  

කඩුලු දවා ගැනීමේ දී Sophie Ecclestone ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නිය බවත් වෙද්දී ඊට අමතර ව Nat Sciver-Brunt සහ Charlie Dean කඩුලු ද්විත්වය බැගින් ද සහ Linsey Smith කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 253 (50.0) Tammy Beaumont 32, Heather Knight 29, Nat Sciver-Brunt 117, උදේශිකා ප්‍රබෝධනී 2/55, සුගන්දිකා කුමාරි 2/66, ඉනෝකා රණවීර 3/33
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 164 (45.4) හසිනි පෙරේරා 35, හර්ෂිතා සමරවික්‍රම 33, Nilakshika Silva 23, Nat Sciver-Brunt 2/25, Charlie Dean 2/47, Sophie Ecclestone 4/17

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 89ක ජයගක්‍රහණයක්.

තරගයේ දක්ෂතම පිතිකාරිනී : Nat Sciver-Brunt ( එංගලන්තය)

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<