ඉතිහාසයේ හොඳම හඹා යෑමත් සමඟින් ඉන්දියාව අවසන් මහා තරගයට

ICC Women's World Cup

174
ICC Women's World Cup

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ හොඳම හඹා යෑමේ ඉනිම වාර්තා කළ ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා අද (30) සුදුසුකම් ලබා ගත්තා. 

ඉන්දීය කණ්ඩායම මීට පෙර ද 2005 වසරේ දී සහ 2017 වසරේ දී අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගෙන තිබු අතර ඔවුන් අවසන් මහා තරගයක් සඳහා එක් වෙන තෙවැනි අවස්ථාවයි මේ.

Navi Mumbai හී DY Patil ක්‍රිකට් ක්‍රීඩාංගණයට එක් වූ අතිවිශාල ඉන්දීය ප්‍රේක්ෂකයන්ට සුන්දර තරගකාරී අත්දැකීමක් ලබා දුන් Jemimah Rodrigues (නොදැවී 127) සහ Harmanpreet Kaur (89) මෙම ජයග්‍රහණයේ නියමුවන් වූවා.

මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ මෙතෙක් නිමා වූ තරගාවලි 13න් 8 වතාවක් කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනිමින් 7 වතාවක් ලෝක ශූරියන් වූ ඕස්ට්‍රේලියාවයි. ඔවුන් අද තරගයට සහභාගී වෙන්නේ නිමා වූ ආසන්නත ම ලෝක ශූරියන් ද ලෙසිනුයි.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 338ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම තරගය අවසන් වීමට තවත් පන්දු 9ක් ඉතිරි ව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 341ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.

ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Harmanpreet Kaur (නායිකාව), Shafali Verma, Smriti Mandhana, Jemimah Rodrigues, Amanjot Kaur, Deepti Sharma, Richa Ghosh (කඩුලු රකින්නිය), Radha Yadav, Kranti Gaud, Shree Charani, Renuka Singh.

ඕස්ට්‍රේලියාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Alyssa Healy (නායිකාව සහ කඩුලු රකින්නිය), Phoebe Litchfield, Ellyse Perry, Beth Mooney, Annabel Sutherland, Ashleigh Gardner, Tahlia McGrath, Kim Garth, Alana King, Sophie Molineux, Megan Schutt.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී, Phoebe Litchfield. 22 හැවිරිදි වියේ පසුවෙන මේ වමත් පිතිකාරිනිය පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 119ක් ලබා ගන්නවා.

ඇය Ellyse Perry සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 133ක දී ලකුණු 155ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී Ellyse Perry පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 77ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Ashleigh Gardner පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 63ක් ද ලබා ගන්නවා.

 කඩුලු දවා ගැනීමේ දී Shree Charani සහ Deepti Sharma කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Amanjot Kaur, Kranti Gaud සහ Radha Yadav කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 13 දී දැවී යනවා. ඉන් අනතුරු ව 2 වැනි කඩුල්ලේ දී Smriti Mandhana සහ Jemimah Rodrigues එක් ව පන්දු 47ක දී ලකුණු 46ක් එක් කරනවා. එහි දී ඉන්දීය කණ්ඩායමට විශාල පාඩුවක් වෙන්නේ Smriti Mandhana ගේ කඩුල්ල අහිමි වීමයි.

ඒ වෙද්දී ඇය පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා. එතැන් සිට ඉන්දීය ඉනිම ලකුණෙන් ලකුණ ගොඩ ගැනීමට Jemimah Rodrigues සහ නායිකා Harmanpreet Kaur වෙත පැවැරෙනවා.

ඔවුන් දෙදෙනා එක් ව එම කර්තව්‍ය මනාව ඉටු කරන අතර 3 වැනි කඩුල්ලේ ලකුණු 100 සබඳතාව 99 වැනි පන්දුවේ දී දී වාර්තා කළා. ඉන් අනතුරු ව කාලයේ දී Jemimah Rodrigues විසින් ලබා දුන් පහසු උඩ පන්දුවක් කඩුලු රැකි නායිකා Alyssa Healy ගේ සුරතින් ගිලිහීමෙන් අනතුරු ව දෙදෙනා අතර ලකුණු 150 සබඳතාව 140 වැනි පන්දුවේ දී වාර්තා වූවා.

ඔවුන් දෙදෙනාගේ මේ සබඳතාව ලකුණු 167 දී අවසන් වෙනවා. ඒ Harmanpreet Kaur ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 89ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා විසින් වාර්තා කරන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහි ව ලෝක කුසලාන ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලකට එරෙහි ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සබඳතාවයි.

එම දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි Deepti Sharma පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ද සහ Richa Ghosh  පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගනිමින් ඉන්දීය ජයග්‍රහණයට තම කණ්ඩායම ළඟා කරනවා.

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී Jemimah Rodrigues පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් නොදැවී ලකුණු 127ක් ලබා සිටියා. එය ඇයගේ 58ක් වන එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා. ඇයත් සමඟින් අනෙක් අන්තයෙන් පිටියේ රැඳී සිටි Amanjot Kaur පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Kim Garth සහ Annabel Sutherland කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 338 (49.5)Phoebe Litchfield 119, Ellyse Perry77, Beth Mooney 24, Ashleigh Gardner 63, Shree Charani 2/49, Deepti Sharma 2/73
  • ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම– කඩුලු 5ක් දැවී 341 (48.3)Smriti Mandhana 24, Jemimah Rodrigues නොදැවී 127, Harmanpreet Kaur 89, Deepti Sharma 24, Richa Ghosh 26, Kim Garth  2/46, Annabel Sutherland 2/69

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Jemimah Rodrigues (ඉන්දියාව)

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා තරගය නොවැම්බර් මස 02 වැනිදා Navi Mumbai හී DY Patil ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<