ඉන්දියාව පෙරටු කරගෙන එන B කාණ්ඩය

ICC U 19 Cricket World Cup 2026

10
ICC U 19 Cricket World Cup 2026

සිම්බාබ්වේ සහ නැමීබියාවේ දී පැවැත්වෙන 16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරමින් ඉන්දියාව, නවසීලන්තය, බංග්ලාදේශය සහ ඇමරිකාව එක් වීමට නියමිතයි. මෙම කාණ්ඩයේ සියලු තරග පැවැත්වෙන්නේ Bulawayo හිදීයි.

තරගාවලියේ සමාරම්භක තරගය මෙම කාණ්ඩයේ ඉන්දියාව සහ ඇමරිකාව කණ්ඩායම් සහභාගී වෙමින් පැවැත්වෙන අතර එම තරගය සිම්බාබ්වේ දී පැවැත්වීමට නියමිතයි.

මේ එම කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියට එක් වෙන කණ්ඩායම් පිළිබඳ ව කෙරෙන සොයා බැලීමක්.

බංග්ලාදේශය

Zawad Abrar

බංග්ලාදේශයේ වඩාත් විශ්වසනීය පිතිකරු Zawad Abrar.

  • 1 වැනි තරගය – ජනවාරි 17 වැනිදා ඉන්දියාව සමඟ
  • 2 වැනි තරගය – ජනවාරි 20 වැනිදා නවසීලන්තය සමඟ
  • 3 වැනි තරගය – ජනවාරි 23 වැනිදා ඇමරිකාව සමඟ

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරග ඉතිහාසය හා බංග්ලාදේශය එක් වෙන්නේ 1998 වසරේ පැවැති 2 වැනි ලෝක කුසලාන තරගාවලියේ සිටයි. එතැන් සිට මේ දක්වා පැමිණි ගමනේ දී ඔවුන් 2020 වසරේ ශූරයන් බවට ද පත් වෙනවා.

බංග්ලාදේශය මේ දක්වා යොවුන් ලෝක කුසලාන තරග 87කට සහභාගී වී ඇති අතර ඉන් තරග 58ක් ජය ගනිමින්, තරගයක් ලකුණු සමවීමෙන් ද සහ තවත් තරග ද්විත්වයක් විසඳුමකින් තොරව ද අවසන් කරනවා. ඉතිරි තරග 26 නිමා වී ඇත්තේ පරජිත තරග ලෙසයි.

මෙවර තරගාවලියට එක් වෙන බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Azizul Hakim වෙතයි. ඔහු නිමා වූ යොවුන් ආසියානු කුසලානයට ද නායකත්වය දැක් වූ අතර එම කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා ම රැගෙන ඒමට ද සමත් වූවා.

බංග්ලාදේශ කණ්ඩායමේ සිටින වඩාත් ම විශ්වසනීය පිතිකරු බවට පත් ව ඇත්තේ Zawad Abrar. ඔහු නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 224ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූවා.

ඔහුට අමතර ව Rifat Beg සහ Kalam Siddiki ද විශ්වසනීය පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට නම් කර තිබෙනවා.

මේ වන විට කණ්ඩායමේ සිටින වඩාත් දක්ෂතා දැක් වූ පන්දු යවන්නා බවට පත් ව ඇත්තේ වමතින් දඟ පන්දු යවන Shahriar Ahmed. ඔහු නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී වැඩිම කඩුලු ලබා ගත් බංග්ලාදේශ පන්දු යවන්නායි.

ඔහුට අමතර ව දකුණතින් ආරම්භක වේග පන්දු යවන Iqbal Hossain Emon, වමතින් දඟ පන්දු යවන Samiun Basir සහ දකුණතින් මද වේග පන්දු යවන Saad Islam ද පන්දු යවන්නන්ගේ බලඇණිය ශක්තිමත් කිරීමට පෙළ ගැසී සිටිනවා.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

Azizul Hakim (නායක), Zawad Abrar (උප නායක), Farid Hasan (කඩුලු රකින්නා), Kalam Siddiki, Md Abdullah (කඩුලු රකින්නා), Rifat Beg, Rizan Hossan, Samiun Basir, Iqbal Hossain Emon, Saad Islam, Shadhin Islam, Shahria Al-Amin, Shahriar Ahmed, Sheikh Parvez Jibon, Al Fahad.

ඉන්දියාව

Vaibhav Sooryavanshi

මෙවර තරගාවලියේ වඩාත් අවධානයට ලක් වෙන පිතිකරු Vaibhav Sooryavanshi

  • 1 වැනි තරගය – ජනවාරි 15 වැනිදා ඇමරිකාව සමඟ
  • 2 වැනි තරගය – ජනවාරි 17 වැනිදා බංග්ලාදේශය සමඟ
  • 3 වැනි තරගය – ජනවාරි 24 වැනිදා නවසීලන්තය සමඟ

වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන ශූරතාව 5 වතාවක් දිනා ගනිමින් වැඩිම වාර ගණනක් ජයග්‍රාහකයන් වූ කණ්ඩායම,  ලෙසයි ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලිය හා එක් වෙන්නේ.

ඔවුන් 2000, 2008, 2012, 2018 සහ 2022 වසරවල යොවුන් ශූරතාවලියට හිමිකම් කියන අතර ඊට අමතර ව 2006, 2016, 2020 සහ නිමා වූ 2024 වසරේ දී අනුශූරයන් බවට පත් වූයේ ද මෙම කණ්ඩායමයි.

එවන් ඉතිහාසයකින් සමන්විත ඉන්දීය කණ්ඩායම මෙවර මෙහෙයවීමේ වගකීම හිමි ව ඇත්තේ ඉදිරිපෙළ පිතිකරු Ayush Mhatre වෙත වන අතර ඔහුගේ සහායකයා වෙන්නේ ඒ ආකාරයෙන් ම පිටියට එක් වෙන Vihaan Malhotra වෙතයි.

කෙසේ වෙතත් කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත සහ මෙවර තරගාවලියේ වඩාත් අවධානය දිනා ගත් පිතිකරු බවට පත් ව ඇත්තේ තවමත් 14 වැනි වියේ පසුවෙන Vaibhav Sooryavanshi.

ඔහු නමින් ලියැවුණ බොහෝ වාර්තා අතර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ලාබාලතම ශතකලාභියා මෙන් ම ඉන්දියාවේ පැවැත්වෙන Randhir Verma තරගාවලියේ ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ ලාබාලතමයා බවට ද පත් ව සිටිනවා.

ඔවුන්ට අමතර ව Abhigyan Kundu, RS Ambrish, Kanishk Chouhan සහ Vedant Trivedi පිතිකරුවන් ලෙසින් ඉන්දීය කණ්ඩායමට එක ව සිටිනවා.

ඉන්දීය පන්දු යැවීමේ ශක්තිමත් පන්දු යවන්නා වී ඇත්තේ දකුණතින් මඳ වේග පන්දු යවන Deepesh Devendran. ඔහු නිමා වූ ආසියානු කුසලානයේ තරග 5ක දී කඩුලු 14ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වූවා.

ඔහුට අමතර ව වමතින් මඳ වේග පන්දු යවන්නන් වන Kishan Singh සහ Udhav Mohan, තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Khilan Patel සහ දකුණතින් පිට දඟ පන්දු යවන Kanishk Chouhan ඉන්දීය පන්දු යවන්නන්ගේ බලඇණිය ශක්තිමත් කිරීමට බලා සිටිනවා.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

Ayush Mhatre (නායක), Vihaan Malhotra (උප නායක), Aaron George, Abhigyan Kundu (කඩුලු රකින්නා), Harvansh Pangalia (කඩුලු රකින්නා), Vaibhav Sooryavanshi, Vedant Trivedi, RS Ambrish, Kanishk Chouhan, Khilan Patel, Deepesh Devendran, Henil Patel, Mohamed Enaan, Udhav Mohan, Kishan Singh.

නවසීලන්තය

Hugo Bogue

පුහුණු තරගයේ ශතකලාභී Hugo Bogue

  • 1 වැනි තරගය – ජනවාරි 18 වැනිදා ඇමරිකාව සමඟ
  • 2 වැනි තරගය – ජනවාරි 20 වැනිදා බංග්ලාදේශය සමඟ
  • 3 වැනි තරගය – ජනවාරි 24 වැනිදා ඉන්දියාව සමඟ

1988 වසරේ පැවැති 2 වැනි ලෝක කුසලාන තරගමාලාව හා එක් වෙමින් තරගාවලියට අවතීරණ වූ නවසීලන්තය මේ දක්වා දිනා ඇති ඉහළ ම ස්ථානය වෙන්නේ 1998 වසරේ දී ලත් අනුශූරතාවයි. ඒ ඔවුන් සහභාගී වූ 2 වැනි ලෝක කුසලාන තරගාවලියයි. එම තරගයේ දී ඔවුන් එංගලන්තය හමුවේ කඩුලු 7කින් පරාජයට පත් වෙනවා.

එම මතකයක් සමඟින් මෙතෙක් ලෝක කුසලාන තරග 82කට සහභාගී වී ඇති ඔවුන් ඉන් තරග 37ක් ජයග්‍රහණය කරද්දී තරග 43ක් පරාජයට පත් ව තිබෙනවා. ඉතිරි තරග අවසන් ව ඇත්තේ නොවිසඳුණ තරග ලෙසයි.

මෙවර තරගාවලියට එක් වෙන නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය ඉදිරි පෙළ පිතිකරු Tom Jones වෙත හිමි ව තිබෙනවා. ඔහු පැවැති පුහුණු තරග ද්විත්වයේ දී ද ලකුණු අතරට පිවිසෙමින් ප්‍රතිවාදී අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට සූදානම් ව සිටිනවා.

එමෙන් ම සිම්බාබ්වේ සමඟ පැවැති පුහුණු තරගයේ දී ශතකලාභී Hugo Bogue ද මුල් පෙළේ පිතිකරුවෙක් ලෙසින් නවසීලන්ත කණ්ඩායම හා එක් ව සිටිනවා. ඔහු යොවුන් එක්දින ජාත්‍යන්තර තරග හා එක් වෙන්නේ පළමු වරටයි.

ඔවුන්ට අමතර ව Aryan Mann, Snehith Reddy, Jacob Cotter  සහ Brandon Matzopoulos විශ්වසනීය පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක් ව ඇති අතර කණ්ඩායමට එක් ව ඇති තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් Callum Samson සහ Jaskaran Sandhu හැඳින්විය හැකියි.

නවසීලන්ත පන්දු යැවීමේ බලඇණියේ විශ්වසනීය සෙබළුන් ලෙසින් දකුණතින් මඳ වේග පන්දු යවන්නන් වන Hunter Shore සහ Harry Burns ද දකුණතින් පිට දඟ පන්දු යවන්නන් වන Selwin Sanjay සහ Luke Harrison හැඳින්විය හැකියි.

නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

Tom Jones (නායක), Marco William Alpe (කඩුලු රකින්නා), Aryan Mann (කඩුලු රකින්නා), Snehith Reddy, Mason Clarke, Snehith Reddy, Harry Burns, Jacob Cotter, Brandon Matzopoulos, Flynn Morey, Callum Samson, Jaskaran Sandhu, Selwin Sanjay, Hunter Shore, Harry Waite.

ඇමරිකාව

Sahil Garg

ඇමරිකානුවන්ගේ විශ්වාසය Sahil Garg

  • 1 වැනි තරගය – ජනවාරි 15 වැනිදා ඉන්දියාව සමඟ
  • 2 වැනි තරගය – ජනවාරි 18 වැනිදා නවසීලන්තය සමඟ
  • 3 වැනි තරගය – ජනවාරි 23 වැනිදා බංග්ලාදේශය සමඟ

අමරිකා කණ්ඩායමක් යොවුන් ලෝක කුසලාන ශූරතාවලිය හා එක් වෙන සිව් වැනි අවස්ථාවයි මේ. ඔවුන් මීට පෙර 2006, 2010 සහ 2024 වසරවල පැවැති ලෝක කුසලාන ශූරතාවලියන් හා එක් ව තිබෙනවා.

එම ලෝක කුසලාන ඉතිහාසයේ ඔවුන් මේ දක්වා තරග 15කට සහභාගී තිබෙනවා. එම තරග ඔවුන් නිමා කර ඇත්තේ ජයග්‍රාහී තරග 2ක්, පරාජිත තරග 12ක් සහ නොවිසඳුණ තරගයක් ලෙසයි.

මෙවර තරගාවලියට එක් වෙන ඇමරිකානු කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ Utkarsh Srivastava වෙතයි. ඉන්දියාවේ උපත ලද ඔහු ඇමරිකාව වෙනුවෙන් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 2කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 2කට ද ක්‍රීඩා කර තිබෙන මැද පෙළ පිතිකරුවෙක් සහ දකුණතින් පිට දඟ පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වනවා.

ඔහුට අමතර ව Sahil Garg, Nitish Sudini, Amrinder Gill සහ Amogh Arepally පිතිකරු ලැයිස්තුවෙනුත් දකුණතින් මඳ වේග පන්දු යවන්නන් වන Rishabh Shimpi සහ Sabrish Prasad, වමතින් මඳ වේග පන්දු යවන Adit Kappa සහ වමතින් දඟ පන්දු යවන Sahir Bhatia පන්දු යවන්නන්ගේ ලැයිස්තුවෙනුත් ඇමරිකන් කණ්ඩායම හා එක් වෙනවා.

කෙසේ වෙතත් මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් පළමු වරට යොවුන් එක්දින වරම් දිනා ගන්නා ක්‍රීඩකයෝ වීම විශේෂත්වයක්.

ඇමරිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

Utkarsh Srivastava (නායක), Advaith Krishna, Amrinder Gill, Ritvik Appidi,  Amogh Arepally, Adnit Jhamb, Adit Kappa, Arjun Mahesh, Rayaan Taj, Sabrish Prasad, Sahil Garg, Sahir Bhatia, Rishabh Shimpi, Shiv Shani, Nitish Sudini.

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<