ඕස්ට්‍රේලියාව සහ කොදෙව්වෝ ජයග්‍රහණ වාර්තා කරයි

ICC U 19 Cricket World Cup 2026

2
ICC U 19 Cricket World Cup 2026

16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 11 වැනි දිනය (25) අවසන් වෙද්දී තරගාවලියේ සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයේ තරග ද්විත්වය අවසන් වූ අතර එහි දී ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ ජයග්‍රහණ වාර්තා කළා.

ඔවුන් වෙතින් පරාජය පත් වූයේ දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තයයි.

25 වැනි තරගය, Super Sixes, Group 1, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර 

Windhoek හී Namibia ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 118ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නේ තවත් පන්දු 103ක් ද ඉතිරි කර ගනිමිනුයි.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Paul James. ඔහු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු Jorich Van Schalkwyk පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ද සහ නායක Muhammed Bulbulia ලකුණු 19ක් ද ලබා ගත්තා.

අනෙක් කිසිඳු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවන්වලට පැමිණීමට ඉඩ නොදුන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අතුරින් ආරම්භක දකුණතින් මඳ වේග පන්දු යැවූ Charles Lachmund ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව Will Byrom සහ Aryan Sharma කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Steven Hogan. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.

ඊට අමතර ව තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී Alex Lee Young පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද සහ Jayden Draper පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී JJ Basson ලකුණු 41කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • දකුණු අප්‍රිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 118 (32.1) Jorich Van Schalkwyk26, Paul James34, Charles Lachmund 3/29, Will Byrom 2/16, Aryan Sharma 2/27
  • ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– කඩුලු 4ක් දැවී 122 (32.5)Steven Hogan 43, Alex Lee Young නොදැවී 21, Jayden Draper නොදැවී 21, JJ Basson 3/41

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

තරගයේ වීරයා – Charles Lachmund (ඕස්ට්‍රේලියාව)

26 වැනි තරගය, Super Sixes, Group 1, බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්තය අතර

Windhoek හී High Performance Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 226ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Jewel Andrew. ඔහු පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා. ඊට අමතර ව Jonathan van Lange පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද සහ Aadian Racha පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Reuben Wilson ලකුණු 50කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව James West සහ Luke Murray කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකි වෙන්නේ පන්දුවාර 40ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඔවුන් කඩුලු 7ක් දැවී ලබා සිටියේ ලකුණු 164ක් පමණයි. එය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ජයග්‍රහණයට තරම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වෙද්දී ඔවුන්ගේ ඉලක්කය වූයේ ලකුණු 251ක්.

කෙසේ වෙතත් එම ඉනිම ආරම්භ කළ James West සහ Freddie Ogilby (14) එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 76කින් ලකුණු 47ක සබඳතාවක් එක් කරනවා. එහි දී James West පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 45ක් එක් කළ අතර එය එම ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූවා.

ඊට අමතර ව Rob O’Brien පන්දු 50කට මුහුණ දෙමින් ලකුණු 26ක් ද සහ Marko Bates පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී පා දඟ පන්දු යැවූ Micah McKenzie ලකුණු 36කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Vitel Lawes කඩුලු ද්විත්වයක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බටහිර ඉන්දීය කොදෙව්වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 226 (46.5)Jewel Andrew 66, Jonathan van Lange 28, Aadian Racha 28, Reuben Wilson 3/50, Luke Murray 2/37, James West 2/24
  • අයර්ලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක්දැවී 164(40.0) James West 45, Rob O’Brien 26, Marko Bates 22, Vitel Lawes 2/41, Micah McKenzie 4/36

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 25ක ජයක්.

තරගයේ වීරයා – Micah McKenzie (බටහිර ඉන්දීය කොදෙව්)

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<