Ben Mayes, විරාන් චමුදිත අසලට ම පැමිණෙයි

ICC U 19 Cricket World Cup 2026

3
ICC U 19 Cricket World Cup 2026

16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 7 වැනි දිනය (21) නිමා වෙන්නේ තවත් යෞවනයෙක්ගේ දැවැන්ත ඉනිමක් ද සමඟිනුයි.

එම දක්ෂතාව සිදු කරන්නේ එංගලන්ත කණ්ඩායමේ Ben Mayes. ඔහු මෙම තරගයේ දී ලකුණු 191ක් ලබාගන්නා ලද අතර ඔහුගේ ඉනිම යොවුන් ලෝක කුසලාන ඉතිහාසයට එක් වූයේ පිතිකරුවන් අතර 2 වැනියට වැඩිම ලකුණු ලබා ගත් තැනැත්තා ලෙසයි.

ඔහුට අද එක් ලකුණකින් අහිමි වෙන්නේ මිට දින කිහිපයකට පෙර ජපානයට එරෙහි ව ලකුණු 192ක් ලබා ගන්නා ලද ශ්‍රී ලංකාවේ විරාන් චමුදිත විසින්, යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු අතර හිමි වූ පළමු ස්ථානයයි.

>>මංගල ශතකය ඔස්ට්‍රේලියාවෙන්<<

17 වැනි තරගය, Group C, එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර 

Harare, Takashinga ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ස්කොට්ලන්ත කණ්ඩායම් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 404ක් ලබා ගත්තා.

එය ඔවුන් යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ඉනිමක ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. මෙම ඉනිමේ දී Ben Mayes පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 191ක් ලබා ගන්නවා. ඊට අමතර ව ඔහු ආරම්භක පිතිකරු Joseph Moores සමඟ එකතු වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 129ක දී ලකුණු 188ක සබඳතාවක් ද එක් කරනවා.

එහි දී Joseph Moores පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 81ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Jake Woodhouse ලකුණු 88කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී, Finlay Jones ද කඩුලු ද්විත්වයක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ තම ඉනිමේ තවත් පන්දු 31ක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 152ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් Finlay Carter පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී  Caleb Falconer කඩුලු 3ක් ද, Manny Lumsden සහ Ralphie Albert කඩුලු ද්විත්වයක් බැගින් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 404 (50.0)Joseph Moores81, Ben Mayes 191, Thomas Rew 22, Caleb Falconer 32, Sebastian Morgan නොදැවී 25, Finlay Jones 2/50, Jake Woodhouse 3/88,
  • ස්කොට්ලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– සියලුම දෙනා දැවී 152 (44.5)Max Chaplin 22, Finlay Carter 34, Ethan Ramsay නොදැවී 20, Ralphie Albert 2/39, Caleb Falconer 3/19, Manny Lumsden 2/17

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 252ක ජයක්.

තරගයේ වීරයා – Ben Mayes (එංගලන්තය)

18 වැනි තරගය, Group D, ටැන්සානියාව සහ ඇෆ්ගනිස්තානය අතර

Windhoek, High Performance Oval ක්‍රීඩා පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ටැන්සානියානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 85ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ Augustino Mwamele. ඔහු පන්දු 49කට මුහුණ දෙමින් ලකුණු 14ක් ලබා ගන්නවා. එම ඉනිමේ පිතිකරුවන් 8 දෙනෙක් ම තම ඉනිම් අවසන් කරන්නේ තනි ඉලක්කමේ ලකුණු සංඛ්‍යාවන්වලින්.

කඩුලු දවා ගැනීමේ දී ආරම්භක වේග පන්දු යැවූ Nooristani Omarzai ලකුණු 9කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Uzairullah Niazai කඩුලු ද්විත්වයක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ පන්දු 76ක් පමණක් උපයෝගී කර ගනිමින් තරගයේ ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.

එහි දී Faisal Shinozada පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා ගන්නවා. එය ඔහු මෙවර තරගාවලියේ වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකයයි.

ඔහු Osman Sadat (නොදැවී 16) සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 48ක දී නොදැවුණ ලකුණු 62ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී Osman Sadat පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ටැන්සානියාවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 85(36.0) Augustino Mwamele 14, Nooristani Omarzai 5/09, Uzairullah Niazai 2/09
  • ඇෆ්ගනිස්තානවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුල්ලක් දැවී 88 (12.4) Faisal Shinozada නොදැවී 55, Khalidy Juma 1/32

ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තරගයේ වීරයා – Nooristani Omarzai (ඇෆ්ගනිස්තානය)

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<