ක්‍රිකට් ආයතනය ගැන මම දැනගන්න ඕන – ක්‍රීඩා ඇමති

334
Dayasiri Jayasekara

අතුරු කමිටුවලට යාමට බලා සිටින ‘පෙරේතයන්’ වැනි කිහිපදෙනෙකු සිටින බවත්, ඔවුන්ට උවමනා අතුරු කමිටුවක් පත්කළ පසු ක්‍රිකට් පරිපාලනට සම්බන්ධ වීමට බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ (26දා) සන්ධ්‍යාවේ පැවති උත්සවයකදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අතුරු පාලක කමිටුවක් යටතට පත්කිරීමේ සූදානමක් තිබෙනවාද යන්න පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ, අඩුම තරමේ ක්‍රීඩා සමාජයක කළමනාකරු තනතුරක් හෝ වෙනත් කිසිදු තනතුරක් හෝ නොමැති පුද්ගලයන් ක්‍රිකට් පරිපාලනයට ඒමට උත්සාහ දරන බවයි.

තවදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,

“ක්‍රිකට් ආයතනය අපේ යටතේ (ක්‍රීඩා අමාත්‍යාංශය) තිබෙන ක්‍රීඩා සංගමයක්. ඒ සම්බන්ධව තීන්දු (අතුරු කමිටුවක් පත්කිරීම) ගන්නවා නම් මම දැනගන්න ඕන. හැබැයි ක්‍රිකට් ක්‍රීඩාවට වින කරන්න කැපවෙච්ච පිරිසකුත් ඉන්නවා. තමන්ගේ පරාජය වහගන්න බැරුව, වියරු වැටිච්ච ඒ අය හදන්නේ ක්‍රිකට් පරිපාලනය නැවත අතුරු කමිටුවක් යටතට ගේන්න.”

අපි සියලු දෙනා දන්නවා අතුරු කමිටු නිසා පසුගිය වසර දෙකේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වුණු ඉරණම. අපට මේ පත්වෙලා ඉන්න ක්‍රිකට් පරිපාලනයත් එක්ක මේ කටයුතු කරගෙන යන්න පුළුවන්. නමුත් අතුරු කමිටුවලට යන්න බලාගෙන පෙරේතයෝ වගේ ඉන්න කිහිපදෙනෙකුත් ඉන්නවා. ඒ අයට වුවමනා වෙලා තියෙන්නේ අතුරු කමිටුවක් ගහපු ගමන් මේක ඇතුළට රිංගගන්න. ඒ අය අඩුම තරමේ ක්‍රීඩා සමාජයක කළමනාකරු තනතුරක් හෝ කිසිම සංගමක තනතුරක් දරලා නැති අය. මේ අය තමයි ක්‍රිකට් පරිපාලනය කරන්න එන්න හදන්නේ. මම ඒ අයට කියන්න කැමතියි, කරුණාකරලා මේ රටේ ක්‍රිකට් විනාශ කරන්නේ නැතුව, ඡන්දයකින් පත්වෙලා ඉන්න පරිපාලනයකට කරගෙන යන්න ඉඩදෙන්න” යැයි පවසා සිටියේය.

අතුරු පාලක මණ්ඩල සෑදීමට අර්බුද, අභියෝග තිබිය යුතු බවත්, තිලංග සුමතිපාල මහතාට විරුද්ධව ප්‍රශ්නයක් තිබේ නම් ක්‍රිකට් ආයතනයට නිලවරණයේදී ඒ පිළිබඳ තීරණයක් ගතහැකි බවත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය. තමන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාද මේ සම්බන්ධව දැනුවත් කර තිබෙන බවත් ඔහු පැවසීය.

“ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් මේ පිළිබඳ දැනුවත් කරලා තියෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා විදියට මම කැමති නැහැ අතුරු පාලක මණ්ඩල හදන්න. අතුරු පාලක මණ්ඩල හදන්න අර්බුදයක්, අභියෝගයක් තිබෙන්න ඕන. තිලංග සුමතිපාල මහත්තයට විරුද්ධව ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ වෙනුවට ඒ සංගමයටම (ක්‍රිකට් ආයතනය) පුළුවන් නිලවරණයේදී නැවත පත්කර ගන්න. අතුරු කමිටු පත්කරන්න ඕන නැහැ. අපි මේ ප්‍රශ්නය අවසන් කරගෙන ඉදිරියට යනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට යන්න පුළුවන් හොඳ සැලැස්මක් අපි හදාගෙන තිබෙනවා. ලංකාවට ස්ථිර පුහුණකරුවෙකු, හොඳ අභ්‍යාසක පුහුණුකරුවෙකු ගෙනත් තිබෙනවා. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවත්, ජාත්‍යන්තර මට්ටමට ගෙන එන්න අපි වැඩපිළිවෙළක් සකස්කරලා තිබෙනවා” යැයි පවසා සිටියේය.

අවසන් වශයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, වෙනත් කිසිවෙකුට ලෝක කුසලාන ගෙනඒමට නොහැකි වන ලෙස ලංකාවේ ක්‍රිකට් විනාශ කරන වැඩපිළිවෙළකට ඇතමුන් කැසකවන තත්ත්වයක් උදාවී තිබෙන බවයි.

“ක්‍රිකට් ආයතනය ගැන බලන් ඉන්න අයට මම කියන්නේ, ලංකාවේ ක්‍රිකට් විනාශකරන්න අතුරු කමිටු ගේන්න කතා කරන්න එපා. එක පුද්ගලයෙක් විතරක් කල්පනා කරනවා නම්, තමන්ට විතරයි ලෝක කුසලානය ගේන්න පුළුවන් කියලා, ඒක ප්‍රශ්නයක්. වෙන කාටවත් ලෝක කුසලාන ගේන්න බැරිවෙන්න ලංකාවේ ක්‍රිකට් විනාශ කරන වැඩපිළිවෙළකට සමහරු කැසකවන තත්ත්වයක් තියෙන්නේ. කරුණාකරලා මම කියන්නේ, මගේ අමාත්‍යාංශය මම බලාගන්නම්. අතුරු කමිටු පත්කරගන්න එක තියෙන්නේ ඒගොල්ලන්ගේ අමාත්‍යාංශවල. ඒක හරියට කළා නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ” යනුවෙන් අමාත්‍යවරයා අවසන් වශයෙන් පවසා සිටියේය.