දක්ෂයින්ගේ පාද ස්පර්ශය ලද පරිණත ක්‍රීඩාංගණ

1491

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නම් වොලිබෝල්. ඒත් බහුතරයකගේ ජනප්‍රියම ක්‍රීඩාව මොකද්ද ඇහුවොත් ඒ තමයි ක්‍රිකට්.

බැට් එකක්, බෝලයක් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න නැතුවම බැරි දේවල් කිහිපයක්. නමුත් බැට් එකට පොල් පිත්තක් හරි, බෝලෙට කොල ගුලියක් හරි අරගෙන ක්‍රීඩා කරත් තැනක් එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් එකක් නැතුව නම් මේ සෙල්ලම කරන්න අමාරුයි.

නමුත් ඉතින් අපේ අයියල නම් දන්නැද්ද ඉතින්, ඉස්කෝලේ විවේකයක් හම්ඹුණු ගමන් පන්ති කාමරේ ඩෙස් පුටු ටික පොඩ්ඩක් එහා මෙහා කරලා, ඔත්තු බලන්නත් එකෙක් දෙන්නෙක් දාලා ක්‍රිකට් ගහපු සුන්දර අතීතයක් තියන අයත් මේ ලිපිය කියවනවා වෙන්න පුළුවන්.

හරි හරි දැන් ඒ අමතක කරන්න බැරි සුන්දර අතීතයෙන් ටිකක් මිදිලා අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ දැනට ඇති පරිණත එහෙම නැතිනම් වයසින් වැඩි ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ කප්පිත්තන්ගේ පාද ස්පර්ශය පවා සටහන් වෙලා තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක් ගැනයි.

ක්‍රිකට් පිටියේ හොර-බොරු අල්ලන සෙල්ලම

ක්‍රිකට් කියන්නේ ඉතින් අපේ රටේ බහුතරයකගේ ළමා කාලය වර්ණවත් කරපු සුන්දර…

  1. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් පිටිය ක්‍රිකට් මහගෙදර

මාලිබෝන් ක්‍රීඩා සමාජය සතු මේ ක්‍රිකට් පිටිය හඳුන්වන්නේ ක්‍රිකට් මහගෙදර (Home of Cricket) ලෙසයි. දහඅට වන සියවසේ එනම් වර්ෂ 1814 දී සාදන ලද මෙම ක්‍රීඩාංගණය තෝමස් ලෝඩ් මහතාගේ නිමැවුමකි.

එයටම සරිලන සුන්දරත්වයකින් යුතු මෙම ක්‍රිකට් පිටිය අවට පරිසරය ඉතාමත් දැකුම්කළුයි. මෙහි ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරග 4ක් පවත්වා ඇත. ප්‍රේක්ෂකයින් 30,000කට පමණ එකවර තරගයක් නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම පිටිය තුල පළමු වරට ක්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ 1884 වර්ෂයේ දීයි. ඒ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතරයි.

මේ වන විට ටෙස්ට් ක්‍රිකට් තරග 135කට සිය සත්කාරකත්වය දක්වා ඇති මෙම පිටිය එක්දින තරග හා විස්සයි – විස්ස තරග රැසකට ද සිය දායකත්වය දක්වා ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමු වරට මේ පිටියේ  දීටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 1984 වර්ෂයේ දීයි. ඒ සත්කාරක එංගලන්තය සමඟයි. මෙහි පවත්වා ඇති විස්සයි – විස්ස තරග අතුරෙන් එක තරගයක දී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ මහේල ජයවර්ධන (78) විසිනි.

  1. ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රිකට් පිටිය එංගලන්තය

ගැරී සෝබර්ස්, රිචඩ් හාඩ්ලි මෙන්ම සිල්වි රයිස් වැනි ක්‍රිකට් ලොවේ විශිෂ්ටයින් කිහිප දෙනෙකුගේම සොඳුරු මතක රැසක් ඇති මෙම ක්‍රිකට් පිටිය 1841 දී නිර්මාණය කර ඇත.

මෙහි පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය 1899 වර්ෂයේ දී සත්කාරක එංගලන්තය හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ටෙස්ට් තරගයක් ලෙස පවත්වා ඇත. එංගලන්ත ජාතිකයින් අතර රිවර් ට්රෙන්ට් ලෙසත් ප්‍රසිද්ධ මෙම පිටිය මත පාපන්දු තරග ද විටින් විට පවත්වනු ලබයි.

ප්‍රේක්ෂකයින් 17,00කට පමණ එකවර තරගයක් නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම පිටිය මත ශ්‍රී ලංකාවේ නම ද ඉහළින් රැඳී ඇත්තේ තිලකරත්න ඩිල්ශාන් හා අජන්ත මෙන්ඩිස් 2009 වර්ෂයේ පැවැත්වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ නිසාවෙනි.

තවද මෙම පිටිය අද ක්‍රිකට් ලෝකය තුල භාවිතාවට ගැනෙන නව තාක්ෂණයෙන් ද අනූන අතර ප්‍රේක්ෂකාගාර අන්තය හා රැඩ්ක්ලිෆ් මාවත යන අන්තයන් දෙක මෙම ක්‍රිකට් පිටිය තුල භාවිතයට ගනියි.

සහසක් අවලාද මැද…

“සියලු වැරදිවල වගකීම ඔබ ගත යුතුය”. නිකරුණේ මා මෙසේ ඔබට කිවහොත් ඔබේ… 

  1. ද ඕවල් ක්‍රිකට් පිටිය එංගලන්තය

“ද බ්ර්ට් ඕවල්” නැතිනම් “ද ඕවල්” ලෙස ක්‍රිකට්ලෝලීන් අතර ප්‍රසිද්ධියක් උසුලන මෙම ඕවල් ක්‍රිකට් පිටිය 1845 වර්ෂයේ දී නිර්මාණය කර ඇත. එංගලන්තයේ පහළ කොටසේ දකුණු පසට වන්නට පිහිටා ඇති මෙම මනරම් ක්‍රීඩාංගණයේ ද පළමු වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ 1880 දී වන අතර  එම තරගය පවත්වා ඇත්තේ ද එංගලන්තය හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතරයි. එම තරගය කඩුලු 5කින් ජය ගැනීමට සත්කාරක එංගලන්තය සමත් වූයේ සිය මව්බිම තුල ලබාගත් පළමු ක්‍රිකට් ජය වාර්තා කර ගනිමිනි.

මෙම ක්‍රීඩාංගණය තුල එක් විස්සයි විස්ස තරගයක දී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 96* ලබා ගෙන ඇත්තේ ද ප්‍රහාරාත්මක සුපිරි තරුවක් වන ඩිල්ෂාන් විසිනි. ඒ 2009 වර්ෂයේ දීය.

 ඩච් ඔෆ් කෝන්වල් සංගමය විසින් පරිපාලන කටයුතු කරනු ලබන මෙම පිටිය ප්‍රේක්ෂකයින් 25,500කට පමණ එකවර තරගයක් නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇත. තවද මේ වන විට මෙම ඉතිහාසගත ක්‍රිකට් පිටිය ජාත්‍යන්තර ටෙස්ට් තරග 100කට, එක්දින තරග 67කට හා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 16කට සිය සත්කාරකත්වය ලබා දී ඇත. 

  1. සිඩ්නි ක්‍රිකට් පිටිය ඕස්ට්‍රේලියාව

මෙය ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ක්‍රීඩාංගණ අතරින් තිබෙන ඉතාමත්ම අලංකාරවත් ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අතර SCG ක්‍රිකට් ක්‍රීඩා පිටිය ලෙසත් මෙය හඳුන්වනු ලැබේ.

නිව් සවුත් වේල්ස් රජය මගින් පරිපාලන කටයුතු මෙහෙයවනු ලබන මෙම පිටිය ප්‍රේක්ෂකයින් 48,000කට පමණ එකවර තරග නැරඹීමට හැකි වෙන ලෙස නිර්මාණය කර ඇත්තේ වර්ෂ 1845 දීය, ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රීඩා කර ඇත්තේ ලැක්ලන් මාකියුරි විසිනි.

රග්බි සහ ක්‍රිකට් යන ක්‍රීඩා දෙක වෙනුවෙන් භාවිතා කරන මෙම ක්‍රීඩාංගණය ලොව ඇති විචිත්‍රවත් ක්‍රීඩාංගණයක් සේම පැරණි ඉතිහාසයක් ද ඇති ක්‍රීඩාංගණයකි.

මෙහි පළමු වරට ටෙස්ට් (1882), එක්දින (1979) හා විස්සයි විස්ස (2007) ආකාරයේ තරග විදි තුනම පවත්වා ඇත්තේ සත්කාරක  ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය බලන කලත් මෙම පිටිය වැදගත්කම් කිහිපයකින්ම සමන්විත අතර මෙම තණතිරුව මත එක්දින තරගයක පළමු කඩුල්ල සඳහා වැඩිම ලකුණු සබඳතාවය වන ලකුණු 237ක වාර්තාව පිහිටුවා ඇත්තේ මාවන් අතපත්තු හා සනත් ජයසූරිය විසිනි. ඒ 2003 දී ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට එදිරිවයි. මීට අමතරව මෙම ක්‍රිකට් පිටිය කණ්ඩායම් 5ක් සඳහා සත්කාරක භූමිය ලෙස ද ප්‍රයෝජනයට ගනු ලැබේ.

හෙළ ක්‍රිකට් ලෝලීන්ගේ තුන්දොස් සමනය කරන ගැලවුම්කාරයාණෙනි…

කලකිරීම් සිදුවී මෙරට හැර ගිය බුද්ධිමතුන්, ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පුරවැසියන්… 

  1. ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ශ්‍රී ලංකාව

ලෝකය පුරා තියන මේ වගේ ඉපැරණි ඉතිහාසගත ක්‍රිකට් ක්‍රීඩාංගණ අතර ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ රටේ ඇති එවන් වැදගත් ක්‍රිකට් පිටිය කුමක් දැයි ඇසුවොත් අප සැමට සිහියට නැගෙන්නේ ගාලු පුරවරයේ පිහිටා ඇති ගාලු ක්‍රිකට් පිටියයි.

සුනාමියෙන් හානි වුනත් යළි නැඟී සිටි ගාල්ල ක්‍රීඩාංගණය ලාංකීය ක්‍රිකට් ලොව කප්පිත්තන්ගේ සමුගැනීම් සටහන්ව ඇති ක්‍රීඩාංගණයකි.

එය මුරලිගේ කඩුලු අටසියයේ අවසානයට සේම සංගා සහ මහේලට ද එසේම විය. පසෙකින් නැව්වලට මග කියන පහන් කණුවකි. ඒ සමඟම අනෙක් පසින් සංස්කෘතික උරුමයක් වන ගාලු කොටු බැම්මයි. එය ප්‍රේක්ෂකයින්ට ද බොහෝ විට අසුන් පනවයි.

වර්ෂ 1876 දී නිර්මාණය කර ඇති මෙම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 35,000කට ආසන්න ප්‍රමාණයකට එකවර තරග නැරඹීමට හැකිය. ගාලු ක්‍රිකට් සමාජය යටතේ ඇති මෙම පිටිය තුල පළමු වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ වර්ෂ 1998 දී වන අතර එම තරගය පවත්වා ඇත්තේ නවසිලන්ත කණ්ඩායම සමඟයි.

එක්දින් තරග ද මෙම පිටිය තුල පවත්වා ඇතත් විසි විස්ස තරගයකට සිය සත්කාරකත්වය ලබා දීමට ගාලු පිටියට තවමත් වාසනාවන්ත වී නැත. තවද කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල එක් ඉනිමක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 333 ලබා ගත්තේ ද මෙම තණතීරුව මතදීයි. ඒ වර්ෂ 2010 දීය. මීට අමතරව මුරලිදරන් මෙම පිටිය මත ටෙස්ට් කඩුලු 111ක් දවාගෙන ඇත.

ඉතින් මෙවන් වූ ක්‍රිකට් ඉතිහාසයක් ඇති ක්‍රීඩාංගණ තුලින් ඔබේ ක්‍රිකට් මතකය යළිත් අවදි කිරීම සහ නව අතිරේක දැනුමක් ඊට එක් කිරීම මෙම ලිපියේ අරමුණ විය. තවත් මෙවන් වූ තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟම රැඳී සිටින්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<