මහරගම අපේක්ෂා රෝහලට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ දහයක ඖෂධ පිරිනමයි

352

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජ සත්කාර ඒකකයේ (ක්‍රිකට් ඒඩ්) මෙහෙය වීමෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට රුපියල් ලක්ෂ දහයක් වටිනා ඖෂධ ප්‍රදානයක් අඟහරුවාදා (ජූලි 17) එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරුණි.

මෙම ඖෂධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා විසින් අපේක්ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය බුද්ධික කුලසූරිය මහතා වෙත රෝහල් ශ්‍රවණාගාරයේ දී භාර දෙන ලදි. එම අවස්ථාවට ක්‍රිකට් ආයතනයේ සමාජ සත්කාරක ඒකකයේ ප්‍රධානී උපාලි සෙනෙවිරත්න මහතා ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ද,අපේක්ෂා රෝහලේ නිලධාරීහුද, මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ද සහභාගී වූහ.

ජාතික ආපදා අවස්ථාවන්ට සහය ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ඒඩ් වැඩසටහන (සමාජ සත්කාර ඒකකය) ආරම්භ කරන ලද්දේ 2004 වසරේ දී ය. සුනාමි ව්‍යසනය, ගංවතුර ආපදා, මීතොටමුල්ල කුණු කන්ද නායේ යෑම වැනි සිද්ධීන් රැසක දී ම ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජ සත්කාරක ඒකකය ආධාර සපයා ඇත.