බෙල්ජියම සිය සාර්ථකම ලෝක කුසලාන සවාරිය අවසන් කරයි

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2018

1055

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන ස්ථානය සඳහා වූ තරගය අද (14) සාන්ත පීටර්ස්බර්ග් හි සාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේ දී ප්‍රබල බෙල්ජියම හා එංගලන්තය අතර පැවැත්වුණු අතර උරුමක්කාරයන්ගේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින් ගෝල 2-0ක් ලෙස 2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට බෙල්ජියම සමත් විය.

අවසන් පූර්ව වටයේ ප්‍රංශය සමඟ තරගයෙන් ලැබූ පරාජයත් සමඟ බෙල්ජියම තෙවන ස්ථානය සඳහා වන තරගයට ඇද වැටුණු අතර ක්‍රොඒෂියාව සමඟ තරගයේ අමතර කාලයේ දී ලද පරාජය නිසා එංගලන්ත කණ්ඩායමට ලෝක කුසලාන අවසාන මහා තරග අහිමි විය.

මෙවර ලෝක කුසලානයේ තෙවන ස්ථානය දිනූ බෙල්ජියම් කණ්ඩායම

සියලු දෙනා අපේක්ෂා කළ පරිදි පළමු මිනිත්තුවේ දී සිටම බෙල්ජියම් ක්‍රීඩකයෝ එංගලන්ත ක්‍රීඩකයින්ට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ සිව්වැනි මිනිත්තුවේ සිය පළමු ගෝලය වාර්තා කරන්නට වේගවත් බෙල්ජියම් ක්‍රීඩකයෝ සමත් වූහ.

අර්ධ අවසන් පූර්ව තරගය තහනම් වූ Thomas Meunier පළමු බෙල්ජියම් ගෝලය වාර්තා කළ අතර Nacer Chadliගේ හරස් පන්දු යොමු කිරීමකින් ආ පන්දුවට පිටියේ ලිස්සා ගිය Meunier සිය පාදය යොමු කළේ අලංකාර ගෝලයකින් බෙල්ජියම පෙරමුණේ තබමිනි.

Meunier බෙල්ජියම පෙරමුණේ තැබීමට සමත් විය

ඒ අනුව Meunier 2018 ලෝක කුසලානයේ බෙල්ජියම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ 10 වන ක්‍රීඩකයා බවට පත්වූ අතර ඔවුන් සම කළේ 1982 දී ප්‍රංශය හා 2006 දී ඉතාලිය ලබා තිබූ වාර්තාවයි.  

අනතුරුව ක්‍රමයෙන් පන්දුව සියතට ගත එංගලන්ත ක්‍රීඩකයෝ තරගයේ වැඩි කාලයක් පන්දුව තමන් සතුව තබා ගනිමින් ක්‍රීඩා කළ අතර ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී බෙල්ජියම් ආක්‍රමණ ඉතා භයානක වුවත් Kevin De Bruyneගේ දක්ෂ පන්දු සකසා දීම් සාර්ථක කරගැනීමට ප්‍රබල ක්‍රීඩක ලුකාකු සමත් වූයේ නැත.

කෙසේ වුවත් හැසාඩ් බෙල්ජියම වෙනුවෙන් සුපිරි ක්‍රීඩා රටාවක නිරත වූ අතර ඔහුගේ පාද චලන හඳුනා ගෙන ඔහුව නැවැත්වීමට එංගලන්ත ක්‍රීඩකයින්ට ප්‍රබල වෙහෙසක් දැරීමට සිදු විය.

පළමු අර්ධය තුල එංගලන්ත ක්‍රීඩකයින්ට අවස්ථා කිහිපයක්ම හිමිවුනත් ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන් අසමත් වූ අතර ගෝල රකින්නා පමණක් සිටිය දී මෙවර තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වන හැරී කේන් හට ලැබුණු අනගි අවස්ථාවක් මග හැරී ගියේ ඉතා අවාසනාවන්ත ලෙසය.

තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වන හැරී කේන් අවසන් තරග තුනේ දී ගෝල වාර්තා කිරීමට සමත් වූයේ නැත

පළමු අර්ධය: එංගලන්තය 00 – 01 බෙල්ජියම  

දෙවන අර්ධයේ දී එංගලන්ත ක්‍රීඩකයෝ අවස්ථා රාශියක් සකසා ගනිමින් ප්‍රබල උත්සහයක් දැරූවද ඉන් එකදු අවස්ථාවක් හෝ සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වූයේ නැත.

70 වන මිනිත්තුවට පසු එංගලන්තයට ඉතා අවාසනාවන්ත සිදුවීමක් වූ අතර Marcus Rashford අනගි පන්දු යොමු කිරීමක් Dier දක්ෂ ලෙස ඉදිරියට පැමිණ සිටි ගෝල රකින්නා පසු කරමින් දැල වෙත යොමු කළ අතර පන්දුව හඹා ආ Toby Alderweireld පන්දුව ගෝල රාමුවට ඇතුළු වීමට ඔන්න මෙන්න තිබිය දී පන්දුව පිටියෙන් ඉවතට යොමු කළේ එංගලන්තයට නිසැක ගෝලයක් අහිමි කරමිනි.     

Toby Alderweireld නිසැක ගෝලයක් එංගලන්තයෙන් උදුරාගත්තේය

82 වන මිනිත්තුවේ දී තරගය පුරා වෙහෙස වූ බෙල්ජියම් ක්‍රීඩකයින් දෙපලක් වූ Kevin de Bruyne හා Eden Hazardගේ සුසංයෝගයෙන් අලංකාර ගෝලයක් වාර්තා වූ අතර Bruyneගේ පන්දු යොමු කිරීම එංගලන්ත ආරක්ෂකයින් මැඩලමින් ගෝල රකින්නා අසලටම පන්දුව රැගෙන ගිය හැසාඩ් ඉතා පහසුවෙන් එම අවස්ථාව සාර්ථක කර ගත්තේ බෙල්ජියමේ සාර්ථකම ලෝක කුසලානය වාර්තා කරමිනි.   

Kevin de Bruyne හා Eden Hazardගේ සුසංයෝගය කණ්ඩායම් කිහිපයක්ම අමාරුවේ දැම්මේය

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 00 – 02 බෙල්ජියම

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • බෙල්ජියම – MEUNIER 4,  E. HAZARD 82′

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<