2026 පාපන්දු ලෝක කුසලානයේ 25 වැනි දිනයට අදාළ ව තවත් තරග ද්විත්වයක් අද (06) උදෑසන ක්‍රියාත්මක වුනා.
මෙම තරගවලින් ජය ගනිමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ නෝර්වේ කණ්ඩායම් සමත් වීම විශේෂත්වයක්.
බ්‍රසීලය සහ නෝර්වේ
ලෝක පාපන්දුවෙ සුපිරි තරු යුගලයක් වන බ්‍රසීලයේ Neymar සහ නෝර්වේ දේශයේ Erling Haaland ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩා පිටියේ දී මුණ ගැසීමට නියමිත වූ මෙම තරගයට රසිකයින්ගෙන් විශේෂ අවධානයක් යොමු වී තිබුණා.
තරගය ආරම්භයේ පටන් නෝර්වේ කණ්ඩායම පන්දුව වැඩි වශයෙන් තමා සන්තකයේ තබා ගනිමින් ක්‍රීඩා කළ අතර, බ්‍රසීලයට තරගය ආරම්භ වී මොහොතකින් දඬුවම් පහරක් ද හිමි වුනා.
කෙසේ වෙතත් මෙහි දී බ්‍රසීල මැද පෙළ ක්‍රීඩක Bruno Guimaraes විසින් එම දඬුවම් පහර අසාර්ථක කර ගත් අතර, ඉන් අනතුරුව තරගයේ පළමු අර්ධය නිමා වන තෙක් එකදු කණ්ඩායමක් හෝ ගෝල වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.
කෙසේ වෙතත් කණ්ඩායම් දෙකම ඉතා ආසන්න අවස්ථා නිර්මාණය කරමින් තරගයේ උණුසුම් බව රැක ගැනීමට සමත් වුනත්, කණ්ඩායම් දෙකේ ම දැල් රකින්නන් ද සිය උපරිමය ලබා දෙමින් විශිෂ්ට පන්දු රැක ගැනීම් සිදු කිරීමට සමත් වුනා.
තරගයේ 79 වැනි මිනිත්තුව තෙක් එකදු ගෝලයක් හෝ වාර්තා නොවුනු තරගයේ පළමු ගෝලය Erling Haaland විසින් වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් පසුව තරගයේ 90 වැනි මිනිත්තුවේ දී Haaland විසින් සිය දෙවැනි ගෝලයත් වාර්තා කිරීමට සමත් වුනේ, මෙවර තරගාවලියේ සිය ගෝල සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ දමා ගනිමිනුයි.
මින් අනතුරුව බ්‍රසීලය විසින් නැවත තරගයට අවතීර්ණ වීමට මගක් සොයමින් සිටියා. මේ අතරම තරගය ආරම්භ කිරීමෙ ක්‍රීඩකයින් අතරට එක් නොවූ Neymar ද තරගය අතර මැද පිටියට ආදේශ කළ අතර, තරගයේ 90+10 මිනිත්තුවේ දී Neymar විසින් බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය දඬුවම් පහරක් හරහා වාර්තා කිරීමට සමත් වුනා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව තරගය නිමා වීම නිසා තරගයෙන් 2-1ක ජයක් නෝර්වේ කණ්ඩායමට හිමි වූ අතර, බ්‍රසීලයට කණ්ඩායම් 16 වටයෙන් ඉවත් වී යාමට සිදු වුනා.
ඉන් මොහොතකට පසුව Neymar කඳුළු පිරි දෙනෙතින් යුතුව ක්‍රීඩාංගණය තුළ හඬා වැටෙන බව දක්නට ලැබුණු අතර, ඒත් සමඟම ඔහු විසින් බ්‍රසීලය සමග ගෙවා දැමූ සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට ද නිමාව සනිටුහන් කළා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
එංගලන්තය සහ මෙක්සිකෝව
තරගාවලියේ සම සත්කාරයකයින් ලෙස මෙක්සිකෝව සිය දේශයේ වාසිය ද සමඟ මෙම තරගයට අවතීර්ණ වූ අතර, එංගලන්තය සුපුරුදු පරිදි සිය ආක්‍රමණශීලී ගෝල වාර්තා කිරීමේ අවශ්‍යතාව සමඟ පිටියට අවතීර්ණ වුනා
මෙම තරගයේ දී මෙක්සිකෝව විසින් තරගයේ පාලනය සියතට ගැනීමට දැඩි වෙහෙසක් දැරූ නමුත්, තරගයේ 36 සහ 38 මිනිත්තු දෙකේ දී Jude Bellingham විසින් එංගලන්තය වෙනුවෙන් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.
කෙසේ වෙතත් මෙක්සිකෝව ඉන් දශමයක හෝ ආතතියකට ලක් නොවී තවදුරටත් ක්‍රීඩාවේ යෙදුණු අතර, තරගයේ 42 මිනිත්තුව තුළ Julian Quinones විසින් මෙක්සිකෝව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.
මේ අතර තරගයේ 54 වැනි මිනිත්තුව තුළ දී එංගලන්ත ක්‍රීඩක Jarell Quansah රතු කාඩ් පතක් ලබමින් පිටියෙන් ඉවතට ගිය අතර, ඒත් සමඟම එංගලන්තයට ක්‍රීඩකයින් දස දෙනෙකුගෙන් පමණක් තරගය ඉදිරියට ඇද ගෙන යාමට සිදු වුනා.
මේ අතරවාරයේ තරගයේ 60 වැනි මිනිත්තුව තුළ එංගලන්තයට දඬුවම් පහරක් හිමි වූ අතර, එය සාර්ථක කර ගත් Harry Kane තරගය 3-1ක් මට්ටමට රැගෙන ආවා. කෙසේ වෙතත් තරගයේ 69 වැනි මිනිත්තුව තුළ මෙක්සිකෝවට ද දඬුවම් පහරක් හිමි වූ අතර, Raul Jimenes විසින් එම දඬුවම් පහර සාර්ථක කර ගනිමින් තරගය 3-2ක් මට්ටමට රැගෙන ඒමට සමත් වුනා.
ඉන් අනතුරුව මෙක්සිකෝව විසින් තරගයේ තවත් ගෝලයක් වාර්තා කරමින් තරගය සම කිරීමට දැඩි උත්සාහයක් දැරූ නමුත්, එම උත්සාහය ව්‍යර්ථ වී ගියා. මේ අනුව මෙවර ලෝක කුසලානයේ මෙතෙක් කල් අපරාජිත ව, ප්‍රතිවාදීන්ට එකදු ගෝලයක් හෝ ලබා නොදෙමින් ඉදිරියට පැමිණි මෙක්සිකෝව ද ලෝක කුසලානයෙන් ඉවතට විසි වී යනවා.
මේ අතර අද දිනයේ තරග ජය ගත් කණ්ඩායම් වන නෝර්වේ සහ එංගලන්තය එළඹෙන 12 වැනි දා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක දී එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.
මේ අතර තරගාවලියේ තවත් තරග ද්විත්වයක් හෙට (07) පැවැත්වීමට සූදානම්.
- හෙට අලුයම 12.30 – පෘතුගාලය සහ ස්පාඤ්ඤය
- හෙට උදෑසන 5.30 – ඇමරිකා එක්සත් ජනපදය සහ බෙල්ජියම
එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>






















