ජෝ රූට්ගෙන් එංගලන්ත නායකයාට අමුතු විදියක ප්‍රශංසාවක්

582
Image Courtesy - AFP

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය 18 වැනිදා එංගලන්තය හා ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේ දී එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පිතිකරණයේ නිරත වුනු ආකාරය තමා හොඳින් රස විඳී බව එංගලන්ත මුල්පෙළ පිතිකරුවෙක් වන ජෝ රූට් පවසා සිටියි.

ලෝක කුසලාන ඉතිහාස පොතේ වාසිය ශ්‍රී ලංකාව අතට ගනී ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 5කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ජයගෙන තරග දෙකක් පරාජය…

මැන්චෙස්ටර් හිදී පැවති එම තරගයේ දී ඇෆ්ගනිස්තානය පරාජය කරමින් ලකුණු 150ක පහසු ජයක් වාර්තා කිරීමට ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 397ක් රැස්කළේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දැනට කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි.

අංක 4 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි එංගලන්ත නායක ඔයින් මෝගන් එතෙක් වේලාවක් එංගලන්තය රඳවා ගෙන සිටි දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ මට්ටමකට ගෙන ඒමට ගත වූයේ සුළු වේලාවක් පමණි. ඔහු ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට  දිගට හරහට පහර එල්ල කිරීමට වූයේ කිසිදු අනුකම්පාවක් නොමැතිවයි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

“ඒ ඉනිම ඉතාමත් විශිෂ්ටයි. මම ඉතාමත් හොඳින් ඔහුගේ ඒ වර්ණවත් ඉනිම රස වින්දා. ඔහු ඒ පිතිකරණයේ නිරත වුනේ කිසිදු පීඩනයක් නොමැතිවයි. ඔහු ඔහුගේ ඉනිම ආරම්භ කළෙත් සිනාමුසුවයි, අවසන් කළෙත් එහෙමයි.” යැයි එංගලන්ත  ටෙස්ට් නායක ජෝ රූට් පවසා සිටියි.

රූට් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 5ක දී ලකුණු 367ක් වාර්තා කරගෙන තිබෙන්නේ 91.75ක් වැනි ඉහළ මට්ටමේ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.

“මෝර්ගන් ක්‍රියාත්මක වෙන්නේ කොයි වේලාවේ ද, කොයි මොහොතේ ද කියලා කාටවත් හරියටම කියන්න බැහැ. නමුත් ඔහු දන්නවා ක්‍රියාත්මක වෙන්න ඕන වෙලාව. ඔහු මේ තරගාවලිය ඉතාමත් ඉහළ මට්ටමකින් අවසන් කරයි කියලා  මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.” යැයි රූට් අවසන් වශයෙන් පැවසීය.

මෝර්ගන් තම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව සහ සිය 13 වැනි ශතකය ද වාර්තා කරමින් පන්දු 71ක් තුළ ලකුණු 148ක් වාර්තා කළ අතර පන්දු 57කින් වාර්තා වූ ඔහුගේ ශතකය ලෝක කුසලාන තරගයක සිව්වැනි වේගවත්ම ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

එමෙන්ම මෝගන්ගේ ඉනිමට හයේ පහර 17ක් ඇතුළත් වූ අතර එය එක්දින ජාත්‍යන්තර තරගයක දී පිතිකරුවෙකු රැස්කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස ලෝක ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්විය.

ජෝ රූට්ගේ දස්කම් හමුවේ කොදෙව්වෝ පසු බසිති!

2019 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (14) සවුත්හැම්ප්ටන් දී පැවති තරගයෙන්…

මෝගන්ට අනගි සහයක් ලබා දුන් ජෝ රූට් ලකුණු 88ක් රැස්කළ අතර එංගලන්ත ඉනිමේ අග භාගයේ දී මොයින් අලී පන්දු 9ක දී හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් සමඟින් වේගවත් ලකුණු 31ක් වාර්තා කළේ එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 397ක් දක්වා රැගෙන යාමට දායකත්වය සපයමිනි.

එංගලන්තය මේ දක්වා ඔවුන් මුහුණ දුන් තරග 5න් තරග 4ක් ජයගෙන තිබෙන නමුත් පාකිස්තාන කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමට ඔවුන්ට සිදු විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය හෙට (21) ශ්‍රී ලංකාව සමඟ ලීඩ්ස් හිදී පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<