කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නොනවතින පරාජයන් රැල්ලට හසු වූ තවත් එක් තරගයක් බවට පත්වෙමින් සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති දෙවැනි විස්සයි විස්ස තරගය අද (26) නිමාවට පත්වූයේ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 8ක අනුවේදනීය තරග පරාජයක් අත්කර දෙමිනි.
එක්දින තරගාවලිය ද ශ්‍රී ලංකාවට එරෙහිව 3-0ක් ලෙස ජය ගත් එංගලන්ත ක්‍රීඩිකාවෝ විස්සයි විස්ස තරගාවලියේ දී ද තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම 2-0ක් ලෙස ජය ගැනීමට සමත්ව සිටියි.
කාන්තා ලෝක කුසලාන වරමත් ‘හබක්’
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙරට තරග …..
විස්සයි විස්ස තරග රටාවට අවශ්‍ය රිද්මය ගොඩ නගා ගැනීමට මුළුමනින්ම අපොහොසත් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබා දුන් ලකුණු 109ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකාරිණියෝ දාහතර වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී ජයග්‍රහණය සනාථ කරගත්හ. ඒ අවස්ථාව වන විට තවත් කඩුලු 8ක් ඔවුන් අත ඉතිරිව තිබුණි.
කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවති මෙම තරගයේ දී නටාලි සීවර්ගේ පිත්තෙන් ජයග්‍රාහී ලකුණ වාර්තා වද්දී ඇගේ නම ඉදිරියෙන් පන්දු 13ක දී ලකුණු 10ක් ද, අනෙක් අන්තයේ රැඳී සිටි ටැමී බිමවුන්ට්ගේ නම ඉදිරියෙන් පන්දු 21ක දී ලකුණු 10ක් ද සටහන්ව තිබුණි.
පෙර පරිදීම පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් ඩැනියෙල් වොට් සහ ඇමී ජෝන්ස් පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 79ක් එක් කළහ. පන්දු 45ක දී ගොඩනැංවුණු අදාළ සම්බන්ධතාව බිඳ වැටුණේ ශෂිකලා සිරිවර්ධන විසින් ඩැනියෙල් වොට්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟය.
අසන්ත ද මෙල් සහ ඇන්ජලෝ මැතිව්ස් අතර හමුවක්
ලබන මැයි මාසයේ එංගලන්තයේ දී පැවැත්වෙන ……
පිතිකාරිණියක විසින් තරගයේ එල්ල කරන ලද එකම හයේ පහරට ද හිමිකම් කී වොට් තවත් හතරේ පහර 3කින් තම ඉනිම අලංකාර කර ගනිමින් රැස්කර ගන්නා ලද ලකුණු 37ට පන්දු 25කට පමණක් මුහුණ දී තිබුණි.
ඇයට අමතරව තරගාවලියේ සාර්ථකම පිතිකාරිණිය බවට පත්ව සිටින ඇමී ජෝන්ස්, ශෂිකලාගේ දෙවැනි ගොදුර ලෙසින් පිටියෙන් ඉවත් වන විට එංගලන්ත මුළු ලකුණු සංඛ්‍යාව 10 වැනි පන්දුවාරය අවසන් වීමටත් මත්තෙන් ලකුණු 90ක් ලෙසින් සටහන්ව තිබුණි. හතරේ පහර 6ක් ද සමඟින් වූ ඇමී ජෝන්ස් පන්දු 24ක දී ලකුණු 36ක් ලබා ගත්තාය.
>>Photos: Sri Lanka Women vs England Women | 2nd T20I<<
මෙම තරගයේ දී ද කාසියේ වාසිය තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වාසනාවන්ත වුවත්, සමස්ත තරගාවලියේ මෙතෙක් තරගයක් ජය ගැනීමට තමන් වාසනාවන්ත නොවීම කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි ගැටලුවක් බවට පත්ව තිබේ.
පළමු තරගයේ දී මැදපෙළින් පැමිණ පන්දු 16ක දී ලකුණු 14ක් ලද ඉමල්කා මෙන්ඩිස් අද තරගයේ දී ආරම්භක පිතිකාරිණිය දක්වා උසස්වීම් ලබමින් චමරි අතපත්තු සමඟ ඉනිම ආරම්භ කළාය. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සම්බන්ධතාවක් ගොඩනැංවුණු නමුත් ලකුණු ලබා ගැනීමේ වේගය නම් එතරම් යහපත් නොවීය. පන්දු 43ක දී ගොඩ නැංවුණු එම සම්බන්ධතාවයේ දී බිඳ වැටුණේ නටාලි සීවර් විසින් චමරි අතපත්තුව දවා ගැනීමත් සමඟය. පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් අතපත්තු පිටියෙන් ඉවත් වන විට ඇය පන්දු 30ක දී ලකුණු 34ක් ලබා සිටියාය.
තරගයකින් තොරව එංගලන්ත ක්‍රීඩිකාවන් තරගය දිනයි
සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ……
අතපත්තුට සහාය ලබා දුන් ඉමල්කා මෙන්ඩිස් පන්දු 21ක දී ලකුණු 15කින් ද දායකත්වය දැක්වූ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ශෂිකලා සිරිවර්ධන සමඟ ලකුණු 20ක් එක් කළාය. අංක 3 පිතිකාරිණිය ලෙසින් පිටියට පිවිසි ශෂිකලා සිරිවර්ධන ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට උත්සාහ ගත් නමුත් සොපියා ඩන්ක්ලි ඊට හරස්වූවාය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ශෂිකලා දැවී යන විට පන්දු 13ක දී ලකුණු 15ක් රැස් කරගෙන සිටියාය.
අද දිනයේ දී පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකාරිණියන් අතරින් ශෂිකලා හැර අන් සියල්ලෝම ලබා ගත් ලකුණු සංඛ්‍යාවට වඩා වැඩි පන්දු සංඛ්‍යාවකට මුහුණ දී තිබීම ද විශේෂත්වයක් විය. ඔවුහු සියල්ලෝම පන්දුවට පහර දුන් විලාශය කිසිසේත්ම විස්සයි විස්ස තරගයකට සුදුසුවන්නේ නැත. දෙරට අතර තරගාවලිය අවසන් කරමින් පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය ලබන 28 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















