සිංහ පැටවු අවදි වී මහත්වරුන්ට හොඳ හැටි සංග්‍රහ කරයි

1907

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි හා අවසන් එක්දින තරගය අද (23) දිවා/රාත්‍රී ක්‍රිකට් තරගයක් ලෙස ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ අතර එම තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 219කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. කෙසේ නමුත් 3-1ක් ලෙස තරගාවලිය ජය ගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ දීවත් වෙනසක් කරයි ද?

තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයගන්නට..

තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ දී කලකට පසුව ලකුණු 366ක යෝධ ලකුණු පුවරුවක් නිර්මාණය වූයේ වටිනා අර්ධ ශතක හතරක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ අඩිතාලම ලෙස සැකසෙමින්. ඊට පිළිතුරු දුන් එංගලන්තය තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට පන්දුවාර 26යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගෙන තිබුණේ ලකුණු 132ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි වමතින් පිත්ත හසුරුවන කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හා දකුණතින් පිත්ත හසුරුවන සදීර සමරවික්‍රම තරගයේ පළමු පන්දුවේ සිටම කරන් සහෝදරයන් ඇතුළු එංගලන්ත පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සාර්ථක හා දක්ෂ පිතිකරණයක නිරත විය.

ඔවුන් දෙදෙනා 2018 වර්ෂයේ මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගී වූ එක්දින තරගවල දී ආරම්භක කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකාව වාර්තා කර ගත් වැඩිම ලකුණු සබඳතාවය අද වාර්තා කළේය. ඔවුන් දෙදෙනා පළමු පන්දුවාර 7 තුල දී කිසිවෙක් නොදැවී ලකුණු 55ක් ලබා ගත්තේ ඉතාමත් හොඳ ප්‍රහාරාත්මක වේගයක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ රඳවා ගෙනයි.

ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක සබඳතාවයක් එකතු කළ පසුව, එක්දින ක්‍රිකට් දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ සදීර ලකුණු 54කට දැවී ගියේය. පන්දු 48ක් පුරාවට වර්ණවත් වූ ඔහුගේ ඉනිම 4 පහර 8කින් සවිබල ගැන්විණි. එම කඩුල්ල දකුණතින් දඟපන්දු යවන ක්‍රීඩක මොයින් අලී සතු විය.

ක්ලෙමෙන්ට් ආරම්භ කළ බාබර් අළුත් කළ 99 අවාසනාවන්තයෝ

ටෙස්ට් ක්‍රිකට් ලොව විවිධ වූ වාර්තාවලින් සමන්විත ය. එහි දී වාසනාවන්ත වාර්තා සේ ම කිසිවෙකුත්..

ඉන් අනතුරුව ශ්‍රී ලංකා මුල්පෙළට ජවයක් එකතු කළ දික්වැල්ල, නායක දිනේෂ් චන්දිමාල් හා එක් විය. සිය එක්දින ක්‍රිකට් දිවියේ 8 වන අර්ධ ශතකය හා නොකඩවා ලබා ගත්  දෙවන අර්ධ ශතකය වාර්තා කර ගත් දික්වැල්ල 4 පහර 12ක් සමඟින් ලකුණු 95ක් ලබාගෙන ශතකයට ආසන්නව සිටිය දී අලී එවූ පන්දුවකට රූට් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දෙවන කඩුල්ල ලෙස පිටිය හැරදා ගියේය.

එම සබඳතාවයන් දෙකෙන් පමණක් සෑහීමකට පත් නොවූ ශ්‍රී ලංකා පිතිකරුවන් එංගලන්ත පන්දු යවන්නන් වෙත දියත් කළ ප්‍රහාරාත්මක පිතිකරණය තවදුරටත් පවත්වා ගෙන ගිය අතර චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් අතරේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 102ක දැවැන්ත සබඳතාවයක් ද ගොඩනැංවිය. කලකට පසුව ලකුණු අතරට පිවිසුණු දකුණතින් පිතිකරණයේ නිරත වන මෙන්ඩිස් ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වෙමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 12 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. මෙන්ඩිස්ගේ දැකුම්කළු ඉනිම එක් 4 පහරකින් හා යෝධ 6 පහර 6කින් අලංකාරවත් වූ අතර ඔහු ලබා ගත් එම ලකුණු 56 සඳහා මෙන්ඩිස්ට වැය වූයේ පන්දු 33ක් පමණි. දසුන් ශානක 4 පහර 3ක් සමඟ පන්දු 11ක දී ලකුණු 18යි.

>>ශ්‍රී ලංකා – එංගලන්ත පස්වන තරගයේ සේයා රූ<<

සිය එක්දින ක්‍රිකට් දිවියේ 22 වන අර්ධ ශතකය ලබාගෙන මිනිත්තු 100කට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් මැදපෙළ සවිමත් කළ නායක චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිමේ 5 වන කඩුල්ල ලෙස දැවී ගියේය. චන්දිමාල් පිටියට අවතීර්ණ වූ විගස ලබා දුන් උඩ පන්දුව රැක ගැනීමට ටොම් කරන් අසමත් වුවත් චන්දිමාල්ගේ කඩුල්ල දවා ගත්තේ ටොම් කරන් විසිනි. පන්දු 73ක දී චන්දිමාල් ලබා ගත් ලකුණු 80ට 4 පහර 6ක් හා 6 පහර දෙකක් ඇතුලත් විය. තිසර පෙරේරා ලකුණු 11යි.

ධනංජය ද සිල්වා හා පිටියේ එක්වූ අකිල දනංජය 7 වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 38*ක සබඳතාවයක් ගොඩනැංවූ අතර ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී නොදැවී ක්‍රීඩා කරමින් සිටි ධනංජය ද සිල්වා හා අකිල පිළිවෙළින් ලකුණු 19*ක් හා ලකුණු 18* බැගින් රැස්කර ගත්හ. පන්දු යැවීමේ දී අලී හා ටොම් කරන් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.  එම දැවැන්ත ලකුණ ශ්‍රී ලංකාව ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී ලබා ගත් වැඩිම එක්දින ලකුණු ප්‍රමාණය ද ලෙස වාර්තා පොත් අතරට එකතු විය.

දැවැන්ත ලකුණු ප්‍රමාණය හඹා යාමේ අරමුණින් පිටියට පැමිණි එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය හමුවේ අසරණ විය. එහි ප්‍රතිඵලයක් ලෙස එංගලන්ත ඉනිමේ පළමු පන්දුවාර 8 තුල ඔවුන්ගේ ප්‍රබල කඩුලු 4ක් දැවී ගොස් තිබිය දී ඔවුන් ලබාගෙන  තිබුණේ ලකුණු 28ක් පමණි. එම දැවී ගිය පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ලබාගත් ජෝ රූට්, ලකුණු 10කට දවා ගැනීමට දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත් විය.

එංගලන්ත ලකුණු පුවරුව එලෙස ඇද වැටී තිබිය දී පස්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ වමතින් පිත්ත හසුරුවන බෙන් ස්ටොක්ස් හා මොයින් අලී ලකුණු 79ක සබඳතාවයක් ගොඩනැඟුවේ එංගලන්ත කණ්ඩායමට යම් සැනසීමක් ගෙනෙ එමිනි.

පරණවිතාන සහ මිෂාරගෙන් අර්ධ ශතක ඉනිම්

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන නිල…

4 පහර 5ක් හා එක් 6 පහරක් රැස්කළ අලී, පන්දු යැවීමෙන් ලබාගත් කඩුලු 2කට අමතරව පිතිකරණයෙන් ද ලකුණු 37ක් ලබා ගත්තේය. සිය එක්දින ක්‍රිකට් දිවියේ 13 වන අර්ධ ශතකය වාර්තා කළ ස්ටොක්ස් 4 පහර 12ක් සමඟ ලකුණු 67ක් ලබාගෙන ශ්‍රී ලංකා පන්දු යවන්නට යම් පීඩනයක් එල්ල කළත්, අකිල දනංජය ඔහුගේ ඉනිමට තිත තැබීමට වග බලාගත්තේය. ඉන්පසුව නම් ගෙවී ගිය පන්දුවාර ප්‍රමාණය එංගලන්ත පසුපෙළ පිතිකරුවන්ට එතරම් සුබදායී නොවූයේ ඔවුන්ගේ ප්‍රබල කඩුලු 5ක් ලකුණු 25ක් තුල දැවී යාම නිසාවෙනි.

එංගලන්ත ඉනිමේ 9 වැනි කඩුල්ල දැවී යාමත් සමඟම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියට ධාරානිපාත වර්ෂාවක් ඇඳ වැටුණු අතර වර්ෂාවේ අඩුවක් දැක ගැනීමට නොහැකි විය. ඒ වන විට ප්‍රධාන ලකුණු සටහනේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 351ක ඉලක්කයක් එංගලන්තය හඹාගොස් තිබිය යුතු නමුත් ඔවුන් ඒ වන විට කඩුලු 9ක් දැවී ලබාගෙන තිබුණේ ලකුණු 132ක් පමණි. ඒ නිසාවෙන් මේ තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 219කින් ජය ගත් ශ්‍රී ලංකාව තරග 5කින් සමන්විත එක්දින තරගාවලියට තිත තැබුවේ ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ ලබා ගත් දැවැන්තම ජයග්‍රහණයට හිමිකම් කියමිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අකිල දනංජය ලකුණු 19කට කඩුලු 4ක් දවා ගන්නා විට ඔහුට සහය වූ චමීර කඩුලු 3ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකාව 366/6 (50): නිරෝෂන් දික්වැල්ල 95,  දිනේෂ් චන්දිමාල් 80, කුසල් මෙන්ඩිස් 56, සදීර සමරවික්‍රම 54, මොයින් අලී 2/57, ටොම් කරන් 2/71.

එංගලන්තය – 132/9 (26/1): බෙන් ස්ටොක්ස් 67, මොයින් අලී 37, අකිල දනංජය 4/19, දුෂ්මන්ත චමීර 3/20.

  • තරගයේ වීරයා – නිරෝෂන් දික්වැල්ල (ශ්‍රී ලංකාව)
  • තරගාවලියේ වීරයා – ඉයන් මෝර්ගන් (එංගලන්තය)

දෙරට අතර පැවැත්වෙන එකම විස්සයි විස්ස තරගය මේ මස 27 වැනි සෙනසුරාදා රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලියේ අවසානය දක්වා තරග වාර්තාව, එසැණ තොරතුරු හා සේයාරූ, ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<