ශ්‍රී ලංකා බලාපොරොත්තු එංගලන්තය උදුරා ගනී

804

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය අද (13) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගය ලකුණු 31කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත සමත් විය. ඒ අනුව 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට එංගලන්තයට හැකි විණි.

පළමු තරගය වර්ෂාවෙන් හෙදී ගියත් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ තැනක

1982 සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිවල පැවති…

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ගේ ආරාධනයෙන් පළමුව පිටියට පැමිණි එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස්කරගත් නමුත් එයට පිළිතුරු ලෙස පන්දුවාර 29කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට කඩුලු 5ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 140ක් පමණි.

දිනයේ පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ ලසිත් මාලිංග එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී දකුණතින් පිත්ත හසුරවන ජේසන් රෝයිව ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරයට  හරවා යැවීමට සමත් විය.

නමුත් එතැනින් එංගලන්ත කණ්ඩායමට වැටීමට ඉඩ නොදුන් එංගලන්ත ජෝ රූට් හා ජොනී බෙයාර්ස්ටෝව් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 සබඳතාවයක් ගොඩනැංවූ අතර බෙයාර්ස්ටෝව් මේ තරගයේ දී එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 2000 සීමාව ඉක්මවා ගිය 27 වැනි ක්‍රීඩකයා බවට පත්වූයේ 2018 වසරේ දී ලබා ගත් ලකුණු ප්‍රමාණය 1000 සීමාව ද ඉක්මවා යමිනි.

කෙසේ නමුත් ඔහු 4 පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබාගෙන සිටිය දී තිසර පෙරේරා කඩුල්ල වෙතම එවූ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

ලක්ෂාන් සඳකැන් එවූ ෆුල්ටෝස් පන්දුවකට හරවා වේගවත් පහරක් එල්ල කළ රූට්ව සිය ක්‍රිකට් දිවියේ ලබා ගත් 29 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට තවත් ලකුණු දෙකක් ඉතිරිව තිබිය දී දවා ගැනීමට තිබුණ ද මිඩ් විකට් කලාපයේ සිටි ධනංජය ද සිල්වා හට ඒ උඩ පන්දුව නිසියාකාරව  කර ගැනීමට නොහැකි වූ නිසා රූට් එම ඉලක්කය සපුරා ගත්තේය.

රූට් හා එක්වූ එංගලන්ත නායක ඉයන් මෝර්ගන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් වැදගත් ලකුණු 68ක් එංගලන්ත ලකුණු පුවරුවේ සලකුණු කරන ලදි. එම සබඳතාවය අවසන් වූයේ ලකුණු 71ක් ලබා සිටි රූට්ගේ දැවී යාමත් සමඟ වන අතර ධනංජය ද සිල්වාගේ පන්දුවට අකිල දනංජය වෙත උඩ පන්දුවක් ලබා දීමෙන් රූට්ගේ ඉනිම අවසන් විය. පන්දු 83ක් පුරාවට වර්ණවත් වූ ඔහුගේ ඉනිමට 4 පහර 6ක් අන්තර්ගත විය. ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ලකුණු 15කට දැවී ගියේය.

දකුණු අප්‍රිකානුවෝ ලෙහෙසියෙන් ම සිම්බාබ්වේ පරාජය කරයි

පොචෙෆ්ස්ට්රූම් සෙන්වේස් උද්‍යාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (12) නිමා වූ දකුණු අප්‍රිකාව…

තරගයේ 42 වන පන්දුවාරය එංගලන්ත ඉනිමේ යම් හැරවුම් ලක්ෂයක් ලෙස සටහන් වූයේ ලසිත් මාලිංග ඔහුගේ ආවේණික ඉපැරණි ක්‍රීඩා විලාසයට යළිත් අවතීර්ණ වෙමින් පන්දු 2ක් තුළ කඩුලු 2ක් දවා ගනිමින් එතෙක් වේලාවක් පිටියේ ස්ථාවරව සිටිමින් ශතකයක් අභියස සිටි නායක මෝර්ගන් හා ප්‍රබල වමත් පිතිකරුවෙක් වන මොයීන් අලීව දවා ගනිමිනි.

සිය එක්දින ක්‍රිකට් දිවියේ 40 වන අර්ධ ශතකය සම්පූර්ණ කරගනිමින් එංගලන්ත මැදපෙළ සවිමත් කළ මෝගන් 4 පහර 11ක් හා දැවැන්ත 6 පහර 2ක් සමඟ ලකුණු 92ක් ලබා ගත්තේය. අලී ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ මාලිංගගේ තුරුම්පු පන්දුවක් වන යෝකර් ලෙන්ත්හි පතිත වන වේගය අඩාල කළ පන්දුවකටයි. ඒ කඩුල්ල මාලිංගගේ ක්‍රිකට් දිවියේ ලබා ගත් 500 වැනි කඩුල්ල විය. ජොස් බට්ලර් ලබා ගත්තේ ලකුණු 28යි. ඒ කඩුල්ල නුවන් ප්‍රදීප්ගේ නම ඉදිරියෙන් සටහන් විය.

එංගලන්ත පසුපෙළ සුනුවිසුනු කර දැමූ මාලිංග හා නුවන් ප්‍රදීප් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාර 4 තුල ඔවුන්ට ලබා දුන්නේ ලකුණු 29ක් පමණයි. ආදිල් රශීඩ් (19*) හා ඔලී ස්ටෝන් (9*) නොදැවී ක්‍රීඩා කරමින් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 24*ක් සිය කණ්ඩායමට එකතු කළේය.

පන්දු යැවීමේ දී දක්ෂ පන්දුකරණයක නිරත වූ මාලිංග ඔහුට නියමිත පන්දුවාර 10 තුල ලකුණු 44කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ලකුණු 279ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ උපුල් තරංග හා නිරෝෂන් දික්වැල්ල වන අතර තරංග ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය.

නිරෝශන් දික්වැල්ල, නායක දිනේෂ් චන්දිමාල් හා දසුන් ශානක යන පිතිකරුවන් කිසිවකු හට ලකුණු 9 සීමාව  පසුකර යාමට දකුණතින් වේගපන්දු යවන ක්‍රිස් වෝක්ස් ඇතුළු  ප්‍රබල එංගලන්ත ක්‍රීඩකයෝ අවස්ථාව ලබා නොදුන්හ.

වමතින් පිත්ත හසුරුවන කුසල් ජනිත් හා දකුණතින් පිත්ත හසුරුවන කුසල් ජනිත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක සබඳතාවයක් ගොඩනංවමින් වේගවත් ඉනිමක් දියත් කළේ රංගිරි දඹුලු ක්‍රීඩා පිටියට පැමිණි කළු වළාවන් ද සැලකිල්ලට ගෙනයි. මන්ද ඒ වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බවට පත්ව තිබූ නමුත් කඩුලු 4ක් අඩු ලකුණු ප්‍රමාණයක දී දැවී ගොස් තිබූ නිසා කුසල් ජනිත් හා ධනංජය ද සිල්වාට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව සටහන් වන ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට දැඩි ලෙස වෙහෙසට පත්වෙන්නට සිදු විය.

එවැනි පසුබිමක් තිබිය දී 4 පහර 4ක් සමඟ පන්දු 37ක දී ලකුණු 31ක් ලබාගෙන සිටි ජනිත් දඟපන්දු යවන ක්‍රීඩක ලියාම් ඩෙව්සන්ගේ පන්දුවකට දැවී ගියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකාගරයේ බලාපොරොත්තු සුනුවිසුනු කරමිනි.

6 වන කඩුල්ල වෙනුවෙන් ධනංජය ද සිල්වා හා පිටියේ එක්වූ තිසර පෙරේරා පන්දුවාර කිහිපයක් තුල තණතීරුවේ හැසිරීම හඳුනා ගනිමින් ඩක්වර්ත් ලුවිස් න්‍යායට ළඟා වීමේ අරමුණ ඇතිව යම් ප්‍රහාරත්මක පිතිකරණයක නිරත විය.

පන්දු 49ක දී නොදැවී ලකුණු 45ක් ලබා ගත් තිසර පෙරේරාගේ ඉනිමට එක් 4 පහරක් හා 6 පහර 3ක් ඇතුළත් වූ අතර ඔහුට සහය වූ සිල්වා 4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 36*ක් ලබාගෙන සිටිය දී පිටියට පතිත වෙමින් තිබූ සුළු වර්ෂාව එක්වරම අධික වර්ෂාවක් දක්වා පරිවර්තනය වීම නිසා තරගය නවතා දැමුණි. පුරා පැයකට ආසන්න කාලයක් වර්ෂාවේ අඩුවක් දැක ගැනීමට නොහැකි වූ නිසා තරග විනිසුරුවරුන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගයේ ප්‍රතිඵලය ලබා දීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවාර 29ක් අවසානයේ ලකුණු 171ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හඹා යාමට තිබූ නමුත් එය අසාර්ථක වූයේ මුල්පෙළ පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය නිසා බව කිව යුතුය. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුලු 3ක් දවා ගත්තේය.

එංගලන්තය – 278/9 (50): ඉයන් මෝර්ගන් 92, ජෝ රූට් 71, ජොස් බට්ලර් 28, ජොනී බෙයාර්ස්ටෝව් 26, ලසිත් මාලිංග 5/44.

ශ්‍රී ලංකාව – 140/5 (29): තිසර පෙරේරා 44*, ධනංජය ද සිල්වා 36*, කුසල් ජනිත් 30, ක්‍රිස් වෝක්ස් 3/26.

තරගයේ වීරයා – ඉයන් මෝගන් (එංගලන්තය)

දෙරට අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගය ලබන 17 වැනි බදාදා දිවා/රාත්‍රී තරගයක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වීමට නියමිත අතර ක්‍රීඩා පිටියේ තවත් නවතම තතු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<