එංගලන්ත කණ්ඩායමෙන් සෞඛ්‍ය පියවර රැසක්

57

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. මෙම තරගාවලියට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එංගලන්ත නායක ජෝ රූට් පවසා සිටියේ මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා වයිරසය නිසා තම කණ්ඩායම ආරක්ෂක ක්‍රියාමාර්ග කීපයක් ගැනීමට සූදානම් බවයි. 

ඒ අනුව එංගලන්ත කණ්ඩායම මෙම තරග සංචාරය තුල දී කිසිදු අවස්ථාවක අතට අත දී ආචාර නොකරන බව ජෝ රූට් පවසා සිටියා. 

එංගලන්ත කණ්ඩායම පසුගිය දා නිමා කළ දකුණු අප්‍රිකා සංචාරය අතරතුර දී ඔවුන්ට උණ හා ගැස්රයිටිස් තත්ත්වයක් වැලඳී තිබුණි. රූට් පවසා සිටියේ අතට අත දී ආචාර කරනු වෙනුවට ඔවුන් fist bump මඟින් ආචාර කරන බවයි. 

එංගලන්ත කණ්ඩායම එළඹෙන සෙනසුරාදා කටුනායක හිදී පළමු පුහුණු තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය ටෙස්ට් තරග දෙකකින් සමන්විත වන අතර එය ලෝක ටෙස්ට් ශූරතාව සඳහා ද ඇතුළත් වීමට නියමිතය. 

“අපිට දකුණු අප්‍රිකාවේ දී මුහුණ දෙන්න සිදු වුන රෝගී තත්වයන්ගෙන් පස්සේ අපි තීරණය කළා වඩාත් ප්‍රවේසම් වෙන්න. ඒ නිසා අපි එකිනෙකා ස්පර්ශ කිරීම අවම මට්ටමක තියාගන්නවා. 

ඒ වගේම අපි අපේ අත් හැකි සෑම විටම සෝදන්න වගේම පිරිසිදුව තියාගන්න උත්සාහ කරනවා. ඒකට බැක්ටීරියා නාශක දියර වගේම ජෙල් වර්ගත් යොදාගන්නවා. 

අපි බලාපොරොත්තු වෙනවා මේ තරගාවලිය සැලසුම් කළ ආකාරයටම ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබේවි කියලා. කණ්ඩායම බලධාරීන් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කරන්න සූදානම්.”

චීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කරගනිමින් ලොව පුරා පැතිර ගිය මෙම කොරෝනා වයිරසය නිසා ලොව පුරා ක්‍රීඩා උත්සව රැසක් අවලංගු කිරීමට බලධාරීන් තීරණය කර තිබිණි. 

මේ වන විට ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක පැතිර ඇති මෙම ආසාදනයෙන් පුද්ගලයන් 86000ක් පමණ රෝගාතුර වී ඇත. මියගිය සංඛ්‍යාව 3000 ද ඉක්මවා ඇත. 

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන 

  • මාර්තු 7-9: පළමු පුහුණු තරගය – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – කටුනායක දී
  • මාර්තු 12-15: දෙවන පුහුණු තරගය – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී
  • මාර්තු 19-23: පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • මාර්තු 27-31: දෙවන ටෙස්ට් තරගය – කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<