21 හැවිරිදි වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 10කට පමණයි. එහි දී කඩුලු 40ක් ලබා ගැනීමට ඔහු සමත් වෙන්නේ සමකාලීන අනෙකුත් පන්දු යවන්නන් අතර සුවිශේෂි ස්ථානයක් හිමිකර ගනිමින්. වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළ ප්‍රවීන් ගැන ThePapare.com තබන සටහනක් මේ.
ප්‍රවීන්ගේ පවුලේ කොල්ලන්ම සිව්දෙනෙක්. අයියා අරුන්, ප්‍රවීන් දෙවැනියා, මෙවන් සහ හිරුන් මල්ලිලා. මේ හතර දෙනා එක් වෙනව කියන්නේ ගෙදර යුද්ධයක් වගේ. සෙල්ලම ක්‍රිකට්ම තමයි. ආරම්භ කරන්නේ ප්‍රවීන්. ගෙදර අයගෙන් වැඩියෙන්ම ක්‍රිකට් උණ තිබුණෙ ප්‍රවීන්ට. ගෙදර අනෙක් අයට සෙල්ලම් කරන්න ඕන වුනත් ප්‍රවීන් තමයි පෙරට දාන්නේ.
“අදත් අපි එකට එක්වෙලා සෙල්ලම් කරනවා. ඒත් දැන් නම් අපි එකට හමුවෙනවා අඩුයි. අයියා නීති විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මල්ලිලා දෙන්න අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙනවා. මමත් පුහුණුවිම් කටයුතු නිසා වැඩිය ගෙදර රැදෙන්නේ නැහැ” ප්‍රවීන් කතා බහට එක් වෙමින් පැවැසුවා.
ප්‍රවීන්ගේ පියා ඉන්ද්‍රජිත් ජයවික්‍රම. මීට අවුරුදු 7කට පමණ ඉහත දී හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ ජීවිතෙන් සමුගන්නවා. පියා මියගිය පවුලේ බර කරට ගන්නේ මව, නිමාලි පීරිස්. ඒ වෙද්දී මේ අයියා, මලෝ සිව් දෙනාම පාසල් යනවා. විශාල වගකීමක්. ඒත් දිරිය කාන්තාවක් වූ නිමාලි ජීවිතයට මුහුණ දෙනවා. ප්‍රිය ස්වාමියා කළ රැකියාව ඇය සියතට ගන්නවා. ඒ තරම් ආත්ම ශක්තියක් ඇයට තම දරුවන් වෙනුවෙන් ජනිත වෙනවා. ප්‍රවීන්ගේ පියා කළේ, රියදුරු පුහුණු පාසලක් පවත්වා ගෙන යෑම.
“අම්මට විශාල වෙහෙසක් දරන්න සිදු වුනා. අපිත් පාසල් යනවා. අයියලා, මල්ලිලා අපි ඔක්කෝම ක්‍රිකට් පුහුණුවීම්වලට යනවා. පාසල් කටයුතුවලට අමතරව පෞද්ගලික උපකාරක පංතිවලට සහභාගි වෙනවා. අම්මා මේ සියල්ලටම අපව යොමු කරන ගමන් ඩ්‍රයිවින් ස්කුල් එකේ වැඩ ටිකත් කළා. ඒ වගේම ගෙදර වැඩ කටයුතුත් කළා. ඒක හරි දුෂ්කර කටයුත්තක්. අඩුම තරමින් ගෙදර වැඩවලට හෝ අපෙන් අම්මට එතරම්ම උදව්වක් තිබුණෙ නෑ. අම්මා, තාත්තගෙන් ඉටු විය යුතු වැඩත් කරමින් අපව උස් මහත් කළා. අම්ම කවදාවත් අපිට තාත්ත නැති අඩුව දැනෙන්න දුන්නෙ නැහැ.”

ජයවික්‍රම සහෝදරයෝ සිවු දෙනාම පාසල් කණ්ඩායම්වල ක්‍රිකට් පුහුණුවීම්වලට ගියත් ඒ අතුරින් ලොකුවට ක්‍රිකට් ගහන්න යොමු වෙන්නේ ප්‍රවීන් විතරයි. අනෙක් අය කරදඬු උස් මහත්වෙද්දි ක්‍රිකට් අතහරිනවා. ඔවුන් තෝරා ගන්නේ පොත් පත්. ඒත් ප්‍රවීන් අල්ල ගත්ත පන්දුව අතහැරියෙ නැහැ. කොතරම් අපහසුතා තිබුනත් ප්‍රවීන්ගේ මව ඊට විරුද්ධව කිසිවක්ම කිව්වෙත් නැහැ. පුළුවන් ආකාරයට ප්‍රවීන්ට උදව් කරමින් දිරිමත් කළා.
“අම්මට ක්‍රිකට් ගැන එතරම්ම දැනුමක් තිබුණෙ නැහැ. මගේ උවමනාවටම තමයි ක්‍රිකට් අතහැරියෙ නැත්තේ. ඒත් ඉතිං අම්ම කවදාවත් ක්‍රිකට් අතහැරලා අයියයි, මල්ලිලයි වගේ ඉගෙනීමටම යොමු වෙන්න කියලා බල කළෙත් නැහැ. අයියත් ලොකු සපෝට් එකක් දුන්නා.”
තවත් විශේෂාංග ලිපි:
- ThePapare නම් කළ ලකී 7 ක්‍රීඩකයා “ලොහාන්”
- ක්‍රිකට් පිටියට තිත තැබූ කැන්ඩි කෙල්ල
- පරණවිතානගේ පරණ නොවන මතකයන්
- පළමු පෙළ වේගවත්ම ශතකයේ හිමිකරු “සඳුන්”
- මලල ක්‍රීඩාවෙන් වාර්තා තැබූ ක්‍රිකට් ක්‍රීඩකයා “දුෂාන්”
ප්‍රවීන්ගේ ක්‍රිකට් පටන් ගන්නේ කළුතර සිරි කුරුස විද්‍යාලයෙන්. වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩය දක්වා සිරි කුරුස විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළා. ඒ අතර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කිරීමට තරම් ප්‍රවීන්ගේ දක්ෂතා ඉවහල් වුනා. සිරි කුරුසයේ ක්‍රිකට් ක්‍රීඩා කරද්දී ප්‍රවීන් එම වයස් කාණ්ඩයේ පළාත් තරගාවලිය නියෝජනය කිරීමට සමත් වෙනවා. එම තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගන්නේ ප්‍රවීන්.
“මේ දක්ෂතාත් සමඟ මට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ආරාධනාවක් ලැබුණා එම විද්‍යාලය සමඟ එක්ව ක්‍රීඩා කරන්න. ඇත්තටම ඒ ආරාධනාව මට ලැබුණ ලොකු චාන්ස් එකක්. ඒත් අතරමගදි සිරි කුරුසෙ අත හැරල යනවට අම්ම කැමති වුනේ නැහැ. ඒ නිසා ගමන ටිකක් පමා වුනා. අවසානයේ මම අපොස සාමාන්‍ය පෙළ විභාගය වෙනතුරු සිරිකුරුසෙ හිටියා. ඊට පස්සේ උසස් පෙළ කරන්න සෙබස්තියන් එකට ආවා.”
කළුතරින්, මොරටුවට පැමිණි ප්‍රවීන් පළමු වසරේ දී ම වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එක් වෙමින් කඩුලු 90ක් ලබා ගන්නවා. ඒ දක්ෂතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම තෝරා ගැනීමට නම් කෙරුණු සංචිතයට එක් වීමට තරම් වාසනාව ගෙන ආවා.

“වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම හා සමග සහභාගී වූ සෑම තරගයක දී ම විශේෂ දක්ෂතා දැක්වීමට නොහැකි වූවත්, බොහෝ තරග වෙනස් කිරීමට දායකවීමට මට හැකි වුනා. විශේෂයෙන් ම ඕස්ට්‍රේලියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී පෑ දක්ෂතාත්, 2016 වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමත් ඒ අතර ප්‍රමුඛයි. 2017 ආසියානු කුසලාන තරගාවලියේ අපි පළමු වටයෙන් ඉවත් වෙන විට තරගාවලියේ වැඩිම කඩුලු ලබාගෙන සිටියේ මම. ඒ වගේම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාවයේ දී ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට හැකි වුනා. ඒ ගැන සතුටුයි.”

පාසල් කාලයෙන් පසුව ප්‍රවීන් වයස අවුරුදු 23න් පහළ තරගාවලියට සහභාගී වීමට කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සමඟ එක් වෙනවා. ඊට එක් වූ පළමු අවුරුද්දේම කඩුලු 35ක් ලබා ගනිමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය දිනා ගන්නේ ප්‍රවීන්.
ඉන් අනතුරුව ප්‍රවීන් එක් වෙන්නේ මුවර්ස් ක්‍රීඩා සමාජය සමඟ. නිමා වූ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ තරග 6කට ක්‍රීඩා කරන ප්‍රවීන් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 31ක්. ඒ පන්දු 964ක් යවමින් ලකුණු 606ක් ලබා දෙමින්. ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට එරෙහිව මොරටුවේ දී ලකුණු 91කට ලබා ගත් කඩුලු 6යි. එම තරගයේ දී පළමු ඉනිමේ දී ලකුණු 53කට කඩුලු 5ක් ලබා ගන්නා ප්‍රවීන් තමන්ගේ පෞද්ගලික ක්‍රිකට් තරග දිවියේ ලකුණු 144කට කඩුලු 11ක් ලබා ගනිමින් තරගයක හොඳම පන්දු යැවීමේ දක්ෂතාව ද වාර්තා කරනවා.
“නවක ක්‍රීඩකයෙක් ලෙසින් මේ තරමින් දක්ෂතා දක්වමින් කණ්ඩායමට දායකත්වය ලබා දීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා. අපි ප්ලේට් ශූරතාව දිනා ගත්තා. එහි දී අවසන් තරග දෙකේ දී මම කඩුලු 18ක් ලබා ගන්නවා. ඒ ටැමිල් තරගයේ දී කඩුලු 11ක් සහ ලංකන් සමඟ තරගයේ දී කඩුලු 7ක් ලබා ගනිමින්. ඊට පෙර පළමු වටයේ තරග අතරින් එස්. එස්. සී. එකට එරෙහිව කඩුලු 7ක් දවා ගැනීමට ලැබීමත් අමතක නොවන තරගයක්.”

“මට මේ ගමන එන්න පාසල් දෙකේ විදුහල්පතිවරුන්, පුහුණුකරුවන්, කණ්ඩායම්භාර ආචාර්යවරුන් වගේම සහෝදර ක්‍රීඩකයන් ද කෝල්ට්ස් සහ මුවර්ස් ක්‍රීඩා සමාජවල සියලු සාමාජිකයන් ද විශාල සහයෝගයක් දැක්වුවා. මේ ගමනේ දී ඔවුන් සියලු දෙනා දැක්වූ සහයෝගයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඒ සියලු දෙනා සමඟ මගේ අම්මා, අයියා සහ මල්ලිලා දෙදෙනා අදටත් මගේ ක්‍රිකට් ජීවිතයට දක්වන දායකත්වය සුවිශේෂයි. ඒ අය තමයි මගේ බලාපොරොත්තුවලට තව තවත් ශක්තියක් දෙන්නේ. තාත්ත වුනත් අද හිටියා නම් මම සිටින තැන ගැන බොහෝම සතුටු වෙයි. මේ සියලු දෙනාගේ ආශීර්වාදයෙන් අවසානයේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්නයි මගේ බලාපොරොත්තුව” ප්‍රවීන් අප සමඟ පැවසුවා.
ඔහුගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවායි ThePapare.com අපගේ සුබ පැතුම් ද ප්‍රවීන්ට එක් කරමු.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















