Kohliගේ 100 සමරන්න Anushka පිටියට පැමිණීම ගැන සමාජ මාධ්‍ය දෙකට බෙදේ

ශ්‍රී ලංකා ඉන්දීය ටෙස්ට් තරගාවලිය 2022

6190

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (04) මොහාලි හිදී ආරම්භ වුනා. මෙම තරගය කණ්ඩායම් දෙකටම සුවිශේෂී තරගයක් වූයේ කාරණා කීපයක් නිසාවෙන්.

අද ආරම්භ වූ තරගය ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක Virat Kohliගේ සියවැනි ටෙස්ට් තරගය ලෙස සටහන් වුනා. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 100කට සහභාගි වූ Sunil Gavaskar, Dilip Vengsarkar, Sachin Tendulkar, Sourav Ganguly, Rahul Dravid, VVS Laxman සහ Virender Sehwag අතරට Kohli ද අද එක්වුනා.

100 වැනි ටෙස්ට් තරගය වෙනුවෙන් ඔහුට සිය හිස්වැස්ම සහ සමරු තිළිණය ප්‍රදානය කළේ වත්මන් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු වන Rahul Dravid විසින් වීම විශේෂත්වයක්.

අද තරගය ආරම්භ වීමට පෙර පැවති මේ සමරු තිළිණ ප්‍රදානය සඳහා Virat Kohliගේ බිරිඳ වන සුපිරි බොලිවුඩ් නිළි Anushka Sharma ද එක්ව සිටියා. එමෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් ද තරගය නැරඹීමට එක්ව සිටීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් සමරු තිළිණය ලබා ගන්නා අවස්ථාවේ දී Anushka Sharma එම ස්ථානයට පැමිණීම බොහෝ දෙනාගේ අවධානයට යොමුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් ද යොමුව තිබුණා.

එහි දී සැමරීම් අවස්ථාව සඳහා පිටියට පැමිණීමට Anushka Sharma හට අවසර දුන්නේ දැයි කිහිප දෙනෙකු ප්‍රශ්න කර සිටියා. තවත් බොහෝ දෙනෙක් පවසා සිටියේ එය සිය ක්‍රිකට් දිවියේ වැදගත් අවස්ථාවක් නිසා එලෙස පැමිණීම ගැටලුවක් නොවන බවයි.

සිය ක්‍රිකට් දිවියේ මේ වැදගත් අවස්ථාව පිළිබඳව Kohli සිය අදහස් දක්වා තිබුණා.

“මේක මට විශේෂ අවස්ථාවක්. මගේ බිරිඳත් මගේ සහෝදරයත් අද මෙතන ඉන්නවා. හැමෝම ගොඩක් ආඩම්බරයෙන් ඉන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව ඇත්තෙන්ම කණ්ඩායම් ක්‍රීඩාවක්. මේ අය නැතිව මට කොහොමවත් මේ තැනට එන්න බැහැ. ඉන්දීය ක්‍රිකට් ආයතනයටත් මම ස්තුතිවන්ත වෙනවා.

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ දී අපි ආකෘති තුනකින් ක්‍රීඩා කරනවා. ඒ වගේම විශාල මුදලක් එක්ක IPL ක්‍රීඩා කරනවා. මම හිතනවා මේ වගේ තරග ආකෘති රැසක් තිබිය දීත් මම

තරග 100ක් ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම අනාගත පරම්පරාවට ලොකු ආදර්ශයක් වේවි කියලා”, Kohli පවසා සිටියා.

මේ අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පන්ජාබ් හි මොහාලිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. මෙම තරගය Rohit Sharma පූර්ණ කාලීන නායකයා වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු තරගයයි.

මෙම තරගය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සහභාගි වන 300 වැනි ටෙස්ට් තරගය වන අතර ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහභාගි වන 75 වැනි ටෙස්ට් තරගයයි.

Hindustan Times ඇසුරෙනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<