CR මුවහතින් ගුවන් තටු සිඳී යයි

983
Air Force SC v CR&FC

ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයට පියමන් කළ CR & FC සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර අද (30) පැවති තරඟයේදී තියුණු සටනකින් අනතුරුව 34-22ක් වශයෙන් ජයගැනීමට CR කණ්ඩායම සමත් විය.

CH තලා පෙලා හැව්ලොක් ඉදිරියටම

උත්සාහක දිනුම් 12ක් වාර්තා කරමින් CH & FC කණ්ඩායම සුණු විසුනු කළ හැව්ලොක් රග්බි කණ්ඩායම, ඩයලොග් රග්බි ලීගයේ ඉදිරියටම යන්නට සමත් විය.

තරඟාවලියේ ප්‍රථම වටයේදීද CR කණ්ඩායමේ දැඩි ප්‍රහාරයට ලක්වූ ගුවන් භටයන් අද දිනයේ ඊට ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තුවෙන් පසුවුවද CR කණ්ඩායමේ ඔමල්ක ගුණරත්න 5 වැනි මිනිත්තුවේදී වාර්තා කළ අගනා උත්සාහක දිනුමත් සමඟ තරඟය CR කණ්ඩායම වෙත නතුවිය. ස්ක්‍රම් අවස්ථාවක් අතරතුරදී පන්දුව ලබාගෙන ධවල රේඛාව තරණය කළ ඔහුගේ උත්සාහයේ ප්‍රවර්තනය භාර වූයේ ප්‍රින්ස් චාමරට ය. එය අසාර්ථක වුවද භානුක නානායක්කාරගේ අතින් වාර්තා වූ තවත් උත්සාහක දිනුමක් සමඟින් පරතරය ලකුණු 10 දක්වා වර්ධනය කරගන්නට ඔවුන් සමත් විය. (CR 10-00 ගුවන් හමුදාව)

තරඟය තමා වෙතින් ගිලිහෙනු දැක ක්‍රියාත්මක වූ ගයන්ත ඉද්දමල්ගොඩ සහ එස්. පටබැඳිගේ එක්ව උත්සාහක දිනුම් ද්විත්වයකින් ලකුණු තත්වය සමකරමින් ගුවන් හමුදා කණ්ඩායමේ තරඟාරම්භය සනිටුහන් කළේය. (CR 10-10 ගුවන් හමුදාව)

තරින්ද රත්වත්තේ විසින් වාර්තා කළ උත්සාහක දිනුමකුත් සමඟින් ප්‍රථම අර්ධය නිමාව දකින විට ලකුණු 7කින් පෙරමුණ ගන්නට CR කණ්ඩායමට හැකිවූයේ ප්‍රින්ස් චාමරගේ මනරම් ප්‍රවර්තන පාපහරකින් අනතුරුවය.

ප්‍රථම අර්ධය – CR & FC 17 (3T 1C) –10 (2T) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

තරඟය නැවත ආරම්භ වී තත්පර 50ක් ගෙවී යන්නටත් මත්තෙන් CR කණ්ඩායමේ වේගවත් ධාවක කවිඳු පෙරේරා උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය වෙනුවෙන්ද මනා දායකත්වයක් එක්කළ ප්‍රින්ස් චාමර එහි අතිරේක ලකුණු තම පිලට එක්කළේය. (CR 24-10 ගුවන් හමුදාව)

ඉන් අනතුරුව CR කණ්ඩායමේ සුපුන් පීරිස් හට කහ කාඩ්පතක් නිකුත් කිරීමෙන් ඔවුන්ගේ ශක්තිය මඳක් බාල වූ අතර ඉදිරියට එන්නට සමත් වූ ගුවන් හමුදා ඉදිරිපෙලින් පන්දුව ලබාගත් වින්ගර් ක්‍රීඩක ඉෂාර මධුශාන් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (CR 24-15 ගුවන් හමුදාව)

පසුව ඔමල්කගෙන් ලබාගත් පන්දුව උත්සාහක දිනුම් රේඛාවෙන් එපිටට ගෙන ගිය කවිඳු පෙරේරා, CR කණ්ඩායම වෙනුවෙන් තවත් ලකුණු 5ක් එක්කළේය. (CR 29-15 ගුවන් හමුදාව)

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ඉදිරිපෙල ක්‍රීඩක කෝකිල සමන්දප්පෙරුම විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා වීමත් සමඟින් තරඟයේ 64 වන මිනිත්තුව වන විට ගුවන් භටයින්ට නැගිය නොහැකි කන්දක් නිර්මාණය කිරීමට CR ක්‍රීඩකයන් සමත් විය. කෙසේවෙතත් ප්‍රින්ස් චාමර, ප්‍රවර්තනයේදී නැවතත් අසාර්ථක විය. (CR 34-15 ගුවන් හමුදාව)

තරඟය අවසන් වීමට මොහොතකට පෙර තිලිණ බණ්ඩාර, ගුවන් හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නට නුවන් පෙරේරා සමත් වූවත් තරඟය ඒ වන විටත් CR අණසකට යටත්ව තිබිණි.

තරඟය නිමාවූයේ විනිසුරු අරුණ රන්කොත්ගේ විසින් ලබා දුන් සංඥාවෙන් අනතුරුවයි.

සම්පූර්ණ කාලය – CR & FC 34 (6T 2C) – 22 (4T 1C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරඟයේ වීරයා – ඔමල්ක ගුණරත්න (CR & FC).

ලකුණු වාර්තා කළ ක්‍රීඩකයන්

  • CR & FC: කවිඳු පෙරේරා 2T, ඔමල්ක ගුණරත්න 1T, භානුක නානායක්කාර 1T, කෝකිල සමන්දප්පෙරුම 1T, ප්‍රින්ස් චාමර 2C.
  • ගුවන් හමුදාව: ගයාන් ඉද්දමල්ගොඩ 1T, එස්. පටබැඳිගේ 1T, ඉෂාර මධුශාන් 1T, තිලිණ බණ්ඩාර 1T, නුවන් පෙරේරා 1C.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට