දසුන්ට කොදෙව් යන්න බැරි වුනේ ඇයි?

564

ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍රයේ ඇතිවූ ගැටලුවක් නිසා බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන තරගාවලිය සඳහා සහභාගී වීමට නොහැකි වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නායකයා නොමැතිව කොදෙව් දූපත් බලා පසුගිය දා පිටත්වුනා.

තම විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය පිළිබඳව දසුන් ශානක පසුගිය දා මාධ්‍ය හමුවේ පැහැදිලි කර සිටියා.

ඔහු පවසා සිටියේ ඔහුගේ ගමන් බලපත්‍රය අස්ථානගතවී නොමැති බවත්, කොදෙව් බලා යාමට වීසා ඉල්ලුම් කිරීමේ දී ඇතිවූ තාක්ෂණික දෝෂයක් නිසා තමන්ට එරටට යාමට අවශ්‍ය අවසරය නොලැබුණු බවයි.

මීට පෙර මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගතවී ඇති නිසා ඔහුට තරගාවලිය සඳහා සහභාගී වීමට නොහැකි වූ බවයි.

කෙසේ වෙතත් ESPNcricinfo වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් දසුන් ශානක තමන්ට සිදු වූ සිදුවීම පවසා තිබුණා. ඔහු එහි දී තමන්ට වීසා ලබා ගැනීමේ දී සිදු වූ තාක්ෂණික දෝෂයක් නිසා මෙලෙස තරගාවලියට සහභාගී වීමට නොහැකි වූ බව තහවුරු කර තිබුණා.

එහි දී ශානක පවසා සිටියේ තමන්ට ඇමරිකානු වීසා සහිත ගමන් බලපත්‍රයක් තිබූ බවත්, එම ගමන් බලපත්‍රය මීට වසර දෙකකට පෙර අස්ථානගත වූ බවත්ය. ඒ අනුව නව ගමන් බලපත්‍රය සඳහා ඇමරිකානු වීසා ලබා ගැනීමේ දී සිදු වූ ප්‍රමාදයක් නිසා මෙම තත්ත්වය ඇතිවූ බව ඔහු පවසා තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ වෙතත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඇමරිකාවේ වීසා නිලධාරීන් සමඟින් සාකච්ඡා කළ බවත්, එහි දී ඔහුගේ නව බලපත්‍රය සඳහා වීසා නිකුත් කිරීමට පෙර යම් තොරතුරු කීපයක් අධීක්ෂණය කළ යුතු බවත් එම නිලධාරීන් දැනුම් දී තිබුණා.

ඒ අනුව ඔහුට කණ්ඩායම සමඟින් කොදෙව් දූපත් බලා පිටත්වීමට නොහැකි වූ බව දසුන් ශානක පවසා සිටියා.

“මගේ විදෙස් ගමන් බලපත්‍රය මීට අවුරුදු දෙකකට පෙර නැති වුනා. ඒ නිසා අදාල නිලධාරීන් දැනුම් දුන්නා නව බලපත්‍රයට වීසා ලබා දෙන්න කලින් මගේ පරණ බලපත්‍රය යොදාගෙන යම් කෙනෙක් ඒ රටට ගිහින් තියනවා ද කියලා පරීක්ෂා කරන්න ඕනේ කියලා” දසුන් ශානක ESPNcricinfo වෙත පවසා තිබුණා.

මෙම සිදුවීමට පෙර ඔහු ඇමරිකානු වීසා ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබූ බව ද ශානක එහි දී පවසා සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්න හට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ස්වයං නිරෝධායනයට ලක්වීමත් සමඟින් දසුන් ශානක හට අදාළ ලියකියවිලි බාරදීමට නොහැකි වී තිබුණා.

“මම මීට කලින් මේ ගැන සාකච්ඡා කරන්න ඔවුන් එක්ක වෙලාවක් වෙන් කරගෙන තිබුණේ. ඒත් ඇතිවුන තත්ත්වය නිසා ඒක කල්දාන්න සිදු වුනා” ශානක තවදුරටත් පවසා සිටියා.

මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ බලධාරීන් සමඟින් සමීපව කටයුතු කරන බවත්, වීසා ලැබුණු වහාම දසුන් ශානක කණ්ඩායම සමඟින් එක්වනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණා.

විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය එළඹෙන මාර්තු මස 04 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කොදෙව් සංචාරයේ සියලු තොරතුරු දැනගන්න ThePapare.com සමඟින් රැඳී සිටින්න.

ESPNcricinfo සහ Newswire ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<