කෝලි හා ධවාන් ලොව ප්‍රබලයින්ව ගෙදර යවයි

190

දැනට ලොව අංක එකේ එක්දින ජාත්‍යන්තර කණ්ඩායම වන දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ තෙවැනි ස්ථානයේ පසුවන ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වූ ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ  තීරණාත්මක තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ ප්‍රබල ඉන්දීය කණ්ඩායම මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ඇතුළත් වීමට සමත් විය.

ස්ටෝක්ස්, මාර්ක් වුඩ් කැන්ගරුවන් ගෙදර යවයි!

2017 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ මේ වන විට සුපිරි දක්ෂතා දක්වමින් සිටින සත්කාරක එංගලන්තය..

B කාණ්ඩයේ තරගයක් ලෙසින් අද (11) එංගලන්තයේ, ලන්ඩන් නුවර ද ඕවල් පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු යැවීම සඳහා අවස්ථාව ලබා ගත්තේ, පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා තරගයේ පළමුව පන්දුවට පහර දී පරාජය ලබා ගැනීමෙන් මුහුණ පෑ අනපේක්ෂිත තත්වය නිසා විය හැකිය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දඟ පන්දු යවන රවිචනද්‍රන් අශ්වින් කණ්ඩායමට කැඳවා තිබූ අතර, ඔහු ආබාධයකට ලක්ව සිටීම නිසාවෙන් පසුගිය තරග කිහිපයම ඔහුට මඟ හැරී ගියේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල වන දකුණත් පිතිකරු හශීම් අම්ලා හා වමත් පිතිකරු කුවින්ටන් ඩී කොක් පළමු වන කඩුල්ල සඳහා පන්දුවාර 17යි පන්දු 3ක් තුල ලකුණු 76ක සබඳතාවයක් ගොඩ නැංවූ අතර, එම සබඳතාවය නිමා කරමින් 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 35ක් රැස්කරගෙන සිටි අම්ලාගේ ඉනිම අවසන් කිරීමට රවින්ද්‍ර අශ්වින්ගේ පන්දුව සමත් විය.

ඩී කොක් හා එක් වූ දකුණත් පිතිකරු ෆෆ් ඩියු පෙලෙසිස් දෙවන කඩුල්ලට ලකුණු 40ක සෑහීමකට පත්විය හැකි සබඳතාවයක් ගොඩ නැංවූ අතර, සිය 14 වන අර්ධ ශතකය වාර්තා කර ගත් ඩී කොක් 4 පහර 4ක් සමඟින් ලකුණු 53ක් ලබාගෙන සිටිය දී රවීන්ද්‍ර ජඩේජාගේ දඟ කැවුණු පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යාමට ලක් විය. දකුණු අප්‍රිකානු නායක ඒ. බී ඩිවිලියස් එක් 4 පහරක් සමඟින් පන්දු 12ක දී  ලකුණු 16ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු විය.

සිව්වන කඩුල්ල සඳහා  පෙලෙසිස් සමඟින් එක් වූ ප්‍රහාරාත්මක වමත් පිතිකරු ඩේවිඩ් මිලර් යන දෙපළගේ සබඳතාවය අනපේක්ෂිත අවස්ථාවක, දුවද්දී දැවී යාමකට හසු වී නිමාව දුටු අතර, එහි දී ඔවුන් දෙපළ නිසියාකාරව සන්නිවේදනය කර නොගැනීම නිසා දෙදෙනාම එක් අන්තයක් වෙත දිව ගියේ, ඉන්දීය කණ්ඩායම කඩුලු පිපාසයකින් සිටි මොහොතේ සිය කඩුල්ල ඔවුන් වෙත නිකරුණේ අත් කර දෙමිනි.

ඒ. බී. ඩිවිලියස්ව හා මිලර්ව දුවද්දී දැවී යාම් වලට හසු වූ නිසා ඉනිම ගොඩනැංවීමේ වගකීම ප්ලෙසිස්ගේ කර මත පැටවිණි. හාර්ඩ්ක් පාන්ඩ්‍යාගේ අපූරු පන්දුවකට පෙලෙසිස් ද දැවී ගියේ පෙර පැවැත්වූ පකිස්තානු තරගයේ දැවී ගිය ලෙසින්ම වන අතර, ඒ වන විට ඔහු ලකුණු 36ක් ලබාගෙන සිටියේය.

අනතුරුව පිටියට පැමිණි ක්‍රිස් මොරිස් හා ඇන්ඩලි පෙහෙලුකවායෝ ලකුණු 4 බැගින් රැස්කරගෙන සිටිය දී දවාලීමට ජාස්ප්‍රිට් බුම්රාට හැකි විය. පන්දුවාර 40ක් අවසානයේ දකුණු අප්‍රිකානුවන් කඩුලු 7ක් දැවී රැස්කරගෙන සිටියේ ලකුණු 178ක් පමණි. බුවනේස්වර් විසින් රබාඩාව හා මෝකල්ව දවාලමින් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ආසන්න තත්වයක සිටි නමුත් ඒ අවස්ථාව ඔහුට මඟ හැරෙන ලදි.

අවසානයේ ප්‍රබල දකුණු අප්‍රිකානු ඉනිම නියමිත පන්දුවාර 50 අවසන් වීමටත් ප්‍රථම සියලුම දෙනා දවාලමින් ලකුණු 191කට සීමා කර වීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වූයේ ශ්‍රී ලංකා තරගයේ දී ඔවුන් අතින් සිදු වූ අඩු පාඩුකම් බොහෝමයක් දුරට අවම කරගෙනයි. ඉනිමේ බොහෝ වේලාවක් රැඳෙමින් විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට වෑයම් කළ ජෝන් පෝල් ඩුමිනි පන්දු 41කට මුහුණ දෙමින් එක් 4 පහරක් සමඟින් නොදැවී ලකුණු 20*ක් රැස්කරගත්තේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අවසන් කඩුලු 8 ලකුණු 51ක් තුල දවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට සවියක් වුන දකුණතින් මඳ වේග පන්දු යවන බුවනේස්වර් කුමාර් හා ජාස්ප්‍රිට් බුම්රා පිළිවෙළින් ලකුණු 23ක් හා ලකුණු 28ක් ලබා දෙමින් කඩුලු 2ක බැගින් දවාලන ලදි.

ලකුණු 192ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් යුගලයේ සබඳතාවය ලකුණු 23කට සීමා කරමින් එක් 4 පහරක් හා 6 පහරක් ලබාගෙන ලකුණු 12ක් රැස්කරගෙන සිටි දකුණත් පිතිකරු රෝහිත් ශර්මා දවා ගැනීමට මොනි මෝකල් සමත් විය. එතැන් පටන් දකුණු අප්‍රිකානුවන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිහිනය බොඳ කිරීමේ මෙහෙයුම ආරම්භ කළ ශිකර් ධවාන් හා නායක විරාට් කෝලි 2වන කඩුල්ලට ලකුණු 128ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැංවීමට සමත් විය.

එහි දී ධවාන් තම 19 වන අර්ධ ශතකය ලබා ගත්තේ මෙවර තරගාවලියේ නිමා වූ තරගවල දී අර්ධ ශතක හා ශතක අතරට පිවිසෙමිනි. ඔහුට අගනා සහයක් ලබා දුන් කෝලි තම 41වන අර්ධ ශතකය වාර්තා කරගෙන ඉනිම ගොඩනැංවීමට සහය ලබා දුන්නේය. ධවාන් හා කෝලි දෙවන කඩුල්ලට ගොඩ නැංවූ සබඳතාවය අවසන් කරමින් ධවාන් මනරම් 4 පහර 12ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 78ක් ලබාගෙන සිටිය දී ඉම්රාන් තාහීර්ගේ පන්දුවකට පෙලෙසිස් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන ලදි.

යුවරාජ් සිං හා කෝලි ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ අතර යුවරාජ් දැවැන්ත 6 පහරක් ප්‍රේක්ෂකාගාරයට එල්ල කරමින් මෙම තරගය අවසන් කළේ, ඉන්දීය කණ්ඩායමට කඩුලු 8ක ජයග්‍රහණය හිමි කර දෙමිනි. තරගය අවසන් වන විට, නොදැවී ක්‍රීඩා කළ කෝලි 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟින් නොදැවී ලකුණු 76*ක් ලබාගෙන සිටි අතර, යුවරාජ් එක් 4 පහරක් හා 6 පහරක් සමඟින් නොදැවී ලකුණු 23*ක් ලබාගෙන සිටින ලදි.

දකුණු අප්‍රිකාව – සියල්ලන්ම දැවී ලකුණු 191 (පන්දුවාර 44.3): කුවින්ටන් ඩී කොක් 53, ෆෆ් ඩියු පෙලෙසිස් 36, හශීම් අම්ලා 35, බුවනේස්වර් කුමාර් 23/2, ජාස්ප්‍රිට් බුම්රා 28/2.

ඉන්දියාව – කඩුලු 2ක් දැවී ලකුණු 193 (පන්දුවාර 38): ශිකර් ධවාන් 78, විරාට් කෝලි 76*, යුවරාජ් සිං 23*, ඉම්රාන් තාහීර් 37/1, මෝනි මෝකල් 38/1

ඒ අනුව ඉන්දීය කණ්ඩායම බොහෝ දුරට බංග්ලාදේශය සමඟින් අවසන් පූර්ව වටයේ දෙවන තරගයේ දී ක්‍රීඩා කිරීමට හැකි වන ලෙස අවශ්‍ය වටපිටාව මේ වන විට නිර්මාණය වී ඇත.

මෙම තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම අතර හෙට (12) වේල්සයේ, කාර්ඩිෆ් නුවර සොෆියා ගාර්ඩ්න් පිටියේ දී පැවැත්වෙන අතර, මෙම තරගය දෙපිලටම වැදගත් තරගයක් වනු නොඅනුමානයි. එසේ වීමට හේතුව මෙම තරගය ජයග්‍රහණය කර ගැනීමට සමත්වන කණ්ඩායමට අවසන් පූර්ව වටයට යාමට අවස්ථාව උදා වන බැවිනි.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට