90 දශකයේ අග භාගයේ හා 2000 දශකය පුරාවටම ශ්‍රී ලංකාව සහභාගී වන ක්‍රිකට් තරගයක් නැරඹීමට රූපවාහිනිය අසලින් වාඩි වූ සෑම ප්‍රේක්ෂකයකුම විමසූ එක් පැනයක් තිබේ.
“සනත් අවුට් ද?”
එසේම එම දශකයේ ක්‍රිකට් නැරඹූ ප්‍රේක්ෂකයන් අතරින් ඔහු දැවී ගිය විට රූපවාහිනිය වසා නොදැමූ ප්‍රේක්ෂකයෙකු ඇතැයි මම නොසිතමි. ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඔහු තරම් දිනා ගත් වෙනත් ක්‍රීඩකයකු මේ වන තෙක් බිහි වී නොමැත.
එයා තමයි කඩුලු රැකපු රොමේෂ් වීරයා
1997 වසරේ අගෝස්තු මාසයේ 2 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති එක්තර ටෙස්ට් තරගයකින් පසුව ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් බොහෝ දෙනෙකු හඳුන්වන සචින් තෙන්දුල්කාර් කළ ප්‍රකාශයක් මම මෙහි සඳහන් කරමි.
“මම ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ව කිසිදා දැක නැහැ. නමුත් මම සනත් ජයසූරියව දැක තිබෙනවා.”
එම ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට ලකුණු 952ක් රැස්කරගත් අතර ඉන් ලකුණු 340කම හිමිකරුවා වූයේ අපගේ කතා නායකයායි.
සනත් ටෙරාන් ජයසූරිය.
බොහෝ දෙනෙකු විසින් සනත් ජයසූරිය විශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙසින් නම් කෙරෙන්නේ ඔහු ක්‍රිකට් පිටියේ රැස් කළ ලකුණු ගණන හා දවා ගත් කඩුලු ගණන පිළිබඳව සඳහන් කරමින් ය. නමුත් ලකුණුවලින් හා කඩුලුවලින් ඔබ්බට ගිය විශිෂ්ටත්වයක් සනත් ජයසූරිය නම් ක්‍රීඩකයා සතුව තිබිණි.
සනත්ට ඔහුගේ ක්‍රීඩා දිවිය පුරාවට අප්‍රමාණ වූ කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්නට සිදු වූ නමුත් ඒ සියල්ලටම ඔහු පිළිතුරු දුන්නේ තම ක්‍රිකට් පිත්තෙනි. කිසිදා මාධ්‍යවේදීන් හෝ විචාරකයන් සමඟ දබරයට නොගිය සනත් ඔහුට එල්ල වූ කෙනෙහිලිකම් සියල්ලටම පිළිතුරු දුන්නේ තරගයක් ජයග්‍රහණය කරවූ ශතකයකිනි. නැතිනම් ද්විත්ව ශතකයකිනි. සනත් තරග තුනක් හෝ හතරක් අසාර්ථක වුවහොත් අකුණු සැර වන් පහරවල් වලින් අලංකාර වූ ශතකයක් අත ළඟම බව එකල ප්‍රේක්ෂකයන් වූ අප දැන සිටියෙමු. අපි ඒ ශතකය පැමිණෙන තෙක් බලා සිටියෙමු. සනත් අපේ බලාපොරොත්තු කිසිදා කඩ කළේ නැත.
ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු හා ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළ ක්‍රීඩකයෙකු ලෙසින් ඉතිහාසයට එක් වුවද සනත් ජයසූරිය නම් වූ මේ විශිෂ්ටයා පැමිණි ගමන් මග සිනහවෙන් පිරීගිය සුවපහසු එකක් නොවේ. කොළඹින් දුර බැහැර වූ මාතර ප්‍රදේශයේ ඉපිද දහසකුත් එකක් කම්කටොළු මධ්‍යයේ උස් මහත් වූ පුංචි සනත්ට ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පැමිණි ගමන තුළ දී අප්‍රමාණ වූ දුක් කන්දරාවන් වලට මුහුණ දෙන්නට සිදු විය.
වර්තමානයේ බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් හට ඔවුන්ගේ ආර්ථිකය හෝ අනෙකුත් දෑ පිළිබඳව එතරම් වෙහෙස නොවී නිදහසේ ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යා හැකි ක්‍රමවේදයක් සකස් වී තිබේ. නමුත් එකල ක්‍රීඩකයන් බොහොමයකට මෙන් සනත්ට ද අභියෝග තිබුණේ ක්‍රිකට් පිටිය තුළ පමණක් නොවේ. පිට පළාත් ක්‍රීඩකයෙකු ලෙසින් කොළඹ නගරයට පැමිණි අවස්ථාවේ දී අඩු තරමින් ඔහුට නැවතී සිටින්නට තැනක් හෝ තිබුණේ නැත. සනත්ට පමණක් නොව මුරලිදරන්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, එරික් උපශාන්ත, රවීන්ද්‍ර පුෂ්පකුමාර වැනි එකල ජාතික කණ්ඩායම නියෝජනය කළ බොහොමයක් ක්‍රීඩකයන් හට මෙම ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වූ බව රහසක් නොවේ.

“ඇත්තටම අපිට ඒ කාලෙ ගොඩාක් ප්‍රශ්න තිබුණා. ඒ කාලෙ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ක්‍රිකට් විතරක් බලපු කෙනෙක් නෙවෙයි. මං හිතන්නෙ ක්‍රීඩකයන්ගෙ නවාතැන් පහසුකම්, කෑම බීම වගේ හැම දෙයක්ම බලන්න වුනා ඒ කාලෙ හිටපු නායකයන්ට. අපි පිට පළාත්වලින් ආපු ක්‍රීඩකයො හැටියට අපිට නවාතැන් පහසුකම්වත් තිබුණේ නෑ. ඉතින් නායකයා ඒවට මැදිහත් වෙලා අපිට පුහුණු වීම් වලට එන්න වාහනයක් නැත්නම් ඒ පළාතෙ ඉඳන් පුහුණුවීම් කටයුතුවලට එන්න ලෑස්ති කරල තිබුණා. ඒක තමයි ඒ කාලෙ මං දැකපු හොඳම දේ.
මං ගල්කිස්සෙ ඉන්න කාලෙ අරවින්ද අයිය (අරවින්ද ද සිල්වා) මාව එක්ක එනවා. නැත්නම් රොෂාන් අයිය (රොෂාන් මහානාම ) මාව එක්ක එනවා. මම රාජගිරියෙ ඉන්නව නම් රෝයි අයිය (රෝයි ඩයස්) මාව අරන් එනවා. චරිත් සේනානායක මාව ඕන තරම් අරන් ඇවිත් තියෙනවා. ඒ වගකීම් භාරගන්න ඒ විදිහට ලෑස්ති කරල තිබුණා.

දැන් එහෙම නැති වෙන්න පුළුවන්. මම දැන් ඉන්න ක්‍රීඩකයන්ගෙන් ඉල්ලන එකම ඉල්ලීම තමයි කැපවීමයි, පුහුණු වීමයි එක්ක තමන්ගෙ දක්ෂතාවය වැඩිකරගන්න කියන එක. එහෙම වුනොත් තමන්ට ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම දැන් එයාලට ලේසියෙන් හම්බෙන දේ අතාරින්න එපා කියන එක තමයි මම කියන්නෙ.”
සනත් එසේ පවසන්නේ හැඟීම්බර ලෙසිනි.

ඒ පිළිබඳව සනත් සිහි කරන්නේ මෙසේය.
“අර්ජුන රණතුංග කියන්නෙ නායකයෙක් විතරක්ම නෙවෙයි. 100%ක්ම නායකත්වයෙන් ඔබ්බට ගිය කෙනෙක්. ඒ වෙලාවෙ කණ්ඩායමේ භාගයක්ම ක්‍රීඩකයො පිටින් ආපු අය. අර්ජුන අයිය දැක්කා ඒ අයගෙ තිබුණ දක්ෂතාවල්. මං හිතන්නෙ නෑ ඒ කාලෙ ක්‍රිකට් ආයතනයට අපිව බලාගන්න සල්ලි තිබුණා කියලා. ක්‍රීඩක කොන්ත්‍රාත්තු වගේ කිසිම දෙයක් ඒ කාලෙ තිබුනෙ නෑ. ක්‍රිකට් ආයතනයත් එක්ක, තේරුම් කමිටුවත් එක්ක කතා කරලා අපේ ක්‍රීඩකයන්ව පවුලක් විදිහට තමයි අර්ජුන අයියා බලාගත්තෙ. අර්ජුන අයිය ඒ වගකීම් ක්‍රීඩකයන්ට දීල තිබුණා මේ අයව මේ මේ තැන්වලින් ගිහින් බස්සන්න කියලා.

සනත්ට ඔහුගේ මුල ඉතා හොඳින් මතකය. අර්ජුනගෙන් සහ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් ලද සහය පිළිබඳව ඔහු සිහි කරන්නේ ඉතා කෘතවේදී අයුරින්ය.
කොළඹ පැමිණි පසුව පමණක් නොව ඉන් පෙර මාතර සිටිය දී ද සනත් ගත කළේ දුෂ්කර ජීවිතයකි. සනත්ගේ පියා මාතර නගර සභාවේ සාමාන්‍ය සේවකයෙක් වූ අතර ඔහුව උස් මහත් කර ඔහුගේ ගමනට දිරි දුන්න ද සනත්ගේ දෙමාපියන් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව එතරම් අවබෝධයක් තිබුණ අය නොවේ.
තමාගේ කුඩා අවධිය පිළිබඳව සනත්ගේ මතකය මෙලෙසය.
“පොඩිකාලෙ මං ආස නෑ අම්මයි තාත්තයි මැච් බලන්න එනවට. ඉතින් මම එයාලට කියල තිබුනෙ බලන්න එන්න එපා, ගෙදර ආවම මම විස්තරේ කියන්නම් කියලා. ඒත් තාත්තා මට හොරෙන් මැච් බලන්න එනවා. එයාට ඕන කොහෙ හරි හැංගිලා ඉඳල කොහොම හරි මැච් එක ටිකක් බලන්න. එයා හිතුවෙ ඒ විදිහට බලන්න හොඳම තැන සයිට් ස්ක්‍රීන් එක අයින කියලා.
ඉතින් ඔහොම දවසක් මැච් එකක පන්දු යවන්නා දුවගෙන එනකොට මට පෙනුනෙ බයිසිකලයක් තියාගෙන සයිට් ස්ක්‍රීන් එක අයිනෙ හිටගෙන ඉන්න තාත්තව.

සනත්ගේ පිතිකරණයේ ඇති බිහිසුණු භාවය පිළිබඳව බොහෝ පන්දු යවන්නන් මෙන්ම විචාරකයන් ද නන් අයුරින් අගය කොට තිබේ. නමුත් සනත් ප්‍රවේගකාරී පිතිකරුවෙක් පමණක්ම නොවේ. තරගයේ තත්ත්වය සලකා බලා ඒ අනුව තම ඉනිම හැඩගැස්වීම සනත් සතුව තිබුණේ විශේෂ හැකියාවකි. 2004 වසරේ පාකිස්තානයේ ෆයිසලාබාද් ක්‍රීඩාංගණයේ දී පාකිස්තානයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයේ දී සනත් රැස්කළ ලකුණු 253 ඒ සඳහා කදිම උදාහරණයකි. එහි දී 9 වැනි කඩුල්ල වෙනුවෙන් දිල්හාර ප්‍රනාන්දු හා එක්ව ලකුණු 101ක සම්බන්ධතාවයක් ගොඩ නැංවීමට ඔහු සමත් වූ අතර එම ලකුණු 101න් දිල්හාර රැස් කර ගත්තේ එක් ලකුණක් පමණි.
එහි දී සනත් එම වකවානුවේ ලොව වේගවත්ම පන්දු යවන්නා වශයෙන් පිළිගැනුන ශොයෙබ් අක්තාර්ගේ පන්දුවලට එළව එළවා පහර දුන් අතර සනත්ගේ ප්‍රහාරවලින් හෙම්බත් වූ අක්තාර් වරක් බිම හිඳගත්තේය.

“මේ විශේෂ අවස්ථා නොවේ. මේ පහරදෙන්නේ එක් පන්දුවාරයක් තුළයි”
යනුවෙන් පැවසූ අතර පසුව ඔහු,
“මෙම පහරදීම මට වසර ගණනාවකට පෙර ශ්‍රීමත් ගැරී සෝබර්ස්ගේ එක් ඉනිමක් සිහිකරවනවා”
යනුවෙන් ද පැවසුවේය.
එම තරගය පිළිබඳව සනත් ගේ මතකය මෙසේය.
“මට ඒක හොඳටම මතකයි. එදා මම ආරම්භක පිතිකරුවෙක් විදිහට ගිහින් දිල්හාර එනකල්ම ක්‍රීඩා කරමින් හිටියා. ඒ වෙලාවෙ මම ක්‍රීඩා කළේ දිල්හාරව බේරගන්න. වගකීම මම අරගෙන පුළුවන් තරම් පන්දුවට පහර දීලා පුළුවන් තරම් ලකුණු රැස්කරලා ලංකාව දිනවන්න ඕන කියල හිතාගෙන තමයි එවෙලෙ මම පන්දුවට පහර දුන්නෙ. මම දිල්හාරට කිව්වා ඔයාට මම පන්දු එකක් හරි දෙකක් හරි තමයි දෙන්නෙ, ඊට වැඩියෙ දෙන්නෙ නෑ, අනිත් හැම පන්දුවකම වගකීම මම භාර අරගෙන ක්‍රීඩා කරනවා කියලා. අන්න ඒ හැඟීම තමයි එදා මට තිබුනෙ.

අන්න ඒ වගේ දේවල් තමයි ක්‍රීඩාවෙ තියෙන්න ඕන දේවල්. එදා මං කොයිවෙලාවෙවත් මගේ ලකුණු ගැන බැලුවෙ නෑ. මම ලකුණු රැස් කරයි දිල්හාරව මම තියාගත්තොත්. හැබැයි මම වගකීම භාර ගන්න ඕන. මෙන්න මේ වගකීම භාර ගැනීම හරිම වැදගත්. තමන්ට ලකුණු රැස් කරන්නත් ඕනෙ. හැබැයි තමන්ගෙ රට ජයග්‍රහණය කරන්නත් ඕනෙ.
කවදාවත් අමතක වෙන්නෙ නෑ ඒ තරගය. මොකද ඒක අපි ජයග්‍රහණය කරපු ටෙස්ට් තරගයක්. පාකිස්තානයේ ජයග්‍රහණය කරනවා කියන්නෙ ගොඩාක් අමාරු වැඩක්. අපි ඒ තරගය ඉතා හොඳින් ජයග්‍රහණය කරල පළවෙනි වතාවට පාකිස්තානෙදි තරගාවලියත් ජයග්‍රහණය කළා.”
සනත්ගේ ක්‍රීඩා දිවිය රසවත් මතකයන් රැසකගෙන් පිරුණ එකකි. ඔහුගේ පළමු ජාත්‍යන්තර ශතකය පසුපස ද ඉතා රසවත් මෙන්ම අර්ථවත් කතාවක් තිබේ. ඒ 1994 වසරේ දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිවය. එදා සනත්ට පළමු ජාත්‍යන්තර ශතකය රැස් කිරීමට අවස්ථාව හිමි කර දී ඇත්තේ අර්ජුන රණතුංගයි.

“ඒ තරගය අපි ජයග්‍රහණය කළ යුතුව තිබුණ තරගයක්. මම හොඳ ආරම්භයක් අරගෙන ලකුණු අතරට ඇවිත් කණ්ඩායම හොඳ තැනකට ගෙනාවා. ඒ ග්‍රවුන්ඩ් එකේ පැවිලියන් එක තිබුනෙ සයිට් ස්ක්‍රීන් එකට උඩින්. බැට් කරන වෙලාවට මට උඩින් අර්ජුන අයිය ඉන්නව පේනවා. ඒ මැච් එක බලන්න එච්චර කට්ටිය ඇවිල්ලා හිටියෙ නෑ. ඒ නිසා පැවිලියන් එකේ ඉඳන් කියන ඕනම දෙයක් හොඳට ඇහෙනවා.
කොහොමහරි මං 50ක් හරි 60ක් හරි ගහල ඉන්නකොට අනවශ්‍ය පහරක් ගහලා පන්දුව පන්දු උඩින් ගිහින් පන්දු රකින්නො දෙන්නෙක් මැද්දට වැටුණා. එවෙල අර්ජුන අයිය නැගිටලා ටවල් එක ගැටගහලා කිව්වා අවුට් වෙලා එහෙම ඇතුලට එන්න එපා කියලා.
මාව නිකන් හිරි වැටිලා ගියා. මොකද මං දැනගත්තා වැඩේ ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි කියලා. ඇත්තටම ඔහොම නෙවෙයි කිව්වෙ. වෙන වචන දෙක තුනකින් කිව්වෙ. ඒව මෙතන කියන්න බෑ. (සිනාසෙමින්) ඇතුලට එහෙමනම් එන්න එපා කිව්වා. ඊට පස්සෙ මං හිතුවා රයිට් එහෙනම් දිගම එකක් ගහල තමයි ඇතුලට යන්න ඕන කියලා. එහෙම හිතලා 140ක්ම ගහල තමයි ආපහු ඇතුලට ගියෙ.

ඒක අපි හොඳ විදිහට ගන්න ඕන. අපට නරකකට නෙවෙයිනෙ ඒ කියන්නෙ. මගෙ සුභසිද්ධියට තමයි ඒ කියල තියෙන්නෙ. ඒකෙන් මට මගෙ පළවෙනි ශතකය ගහන්න අවස්ථාව ලැබුණා. ඒකෙන් මම ඉගෙනගත්ත දේවල් තියෙනවා.
මම කොයිතරම් ඇටෑකින් ක්‍රිකටර් වුනත් සමහර වෙලාවට මම එකේ ඒව ගහගෙන යන වෙලාවල් තියෙනවා ඕන තරම්. මොකද මේක ටීම් ගේම් එකක්. ටීම් එක දිනවන එක තමයි වැදගත්ම දේ. මට 40ක් 50ක් ගහලා විකට් එක විසිකරන්න පුළුවන්. ඒ මගෙ ගේම් එක කියලා කියන්න පුළුවන්. හැබැයි මගේ ගේම් එක මමත් වෙනස් කරගන්න දැනගන්න ඕන. ඒක තමන්ම හදාගන්න ඕන දෙයක් කියල තමයි මම හිතන්නෙ.”
ඒ සනත් ඔහුගේ පළමු ජාත්‍යන්තර ශතකය රැස් කළ ආකාරය හා ඔහු ඉන් ඉගෙන ගත් පාඩමයි.
සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරනු නැරඹීමට ලැබීම පවා වාසනාවකි. එසේ බලන කල අපි ඉතා වාසනාවන්තය. රොමේෂ් කළුවිතාරණ හා එක්ව නව ක්‍රිකට් යුගයක් ආරම්භ කරමින් 1996 ලෝක කුසලනය ශ්‍රී ලංකාවට හිමි කර දීමට මහඟු සේවාවක් ඉටු කළ, තමාගේ ප්‍රවේගකාරී පිතිහරඹයෙන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කළ සනත් වැනි ක්‍රීඩකයෙකු බිහි වන්නේ එක් වරක් පමණි.
ඔහු කිසිදා වගකීම් මගහැර ගිය අයෙකු නොවේ. 1999 ලෝක කුසලාන පරාජයෙන් පසු බිම ඇද වැටී සිටි කණ්ඩායමේ නායකත්වය භාරගෙන යළිත් කණ්ඩායම ගොඩනැගීම වෙනුවෙන් ඔහු සිදු කළ කැපකිරීම් අපමණය.
සනත් යනු සෑමවිටකම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තම පුද්ගලික අභිලාෂයන් පසෙක තබා ඔහුගේ ජවය 100%ක්ම කණ්ඩායම වෙනුවෙන් ලබා දුන් ක්‍රීඩකයෙකි. ඔහු ක්‍රීඩා කළේ රට වෙනුවෙන්ය. තම කණ්ඩායම වෙනුවෙන්ය.
සනත් ක්‍රිකට් ඉතිහාසය තුළ පුරාවෘතයක් වන්නේ එබැවිනි.
Image Credits: espncricinfo.com, scrolldroll.com
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<




















