කන්ද උඩරටට එදිරිව අගනුවර ගැටෙන මහා සංග්‍රාමයට පෙර

367

පාසල් රග්බි පිටියේ අවසන් සංග්‍රාමයට මේ වන විට සියල්ලෝම සූදානම්ව සිටිති. අගනුවර පාසල් කණ්ඩායම “Blues” ලෙසින් ද, කන්ද උඩරට පාසල් කණ්ඩායම “Reds” ලෙසින් ද යුද වදින්නට පෙරමං බලමින් සිටියි.

වසරක් පාසා පාසල් පිටියේ දක්ෂයන් තෝරා ගනිමින් කොළඹ හා මහනුවර ලෙස කණ්ඩායම් දෙකකට බෙදා පැවැත්වෙන මෙම තරගාවලිය ඔක්තෝබර් 12 වැනිදා නිත්තවෙල පිටියේ දී ආරම්භ වීමට නියමිතයි. එළඹෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු තරගාවලිය වෙනුවෙන් වන තෝරාගැනීමේ තරගාවලියක් ලෙස ද මෙම සංග්‍රාමය හැඳින්වේ.

කොළඹ අදියරේ ශූරතාවය ශ්‍රී ලංකාවට ද?

අදියර තුනකින් සමන්විත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර …

කොළඹ “Blues” කණ්ඩායම

නිමා වූ පාසල් ලීග් ශූරතා තරගාවලියේ දී අගනුවර පාසල්වල දක්ෂතා කන්ද උඩරටට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමකින් තිබුණු බව පැවසිය යුතුය. සාන්ත ජෝසප් විද්‍යාලය, රාජකීය විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය වැනි ප්‍රබල පාසල් සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාබහ වූ යුගයක් වන අතර පාසල් පිටියේ දැවැන්තයන් කිහිප දෙනෙකුම මෙවර සංචිතයට ඇතුළත් වී තිබීම විශේෂත්වයකි.

ඒ අතරින් කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රබල “Center’ ක්‍රීඩක ජනිදු ඩිල්ෂාන් ප්‍රධාන ය. ඕනෑම අවස්ථාවක තරගයේ ස්වභාවය වටහා ගනිමින් ජයග්‍රහණය දක්වා කණ්ඩායම රැගෙන යෑමේ හැකියාවෙන් හෙබි ජනිදු, පසුගිය යොවුන් ආසියානු තරගාවලියේ දී ද දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි.

ජනිදු ඩිල්ෂාන්

සාන්ත ජෝසප් විද්‍යාලයේ ගැමුණු චේතිය ද පෙර සඳහන් කළ ප්‍රබල ක්‍රීඩකයින් අතර සිටින්නෙකි. පසුගිය පාසල් තරගාවාරයේ දී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් පවා වාර්තා කරන්නට සමත් වූ ගැමුණු සාන්ත ජෝසප් විද්‍යාලය දිනා ගත් සත් සාමාජික ශූරතාවය පිටුපස සිටින දැවැන්තයෙකු ලෙස ද රග්බි විචාරකයන් හඳුන්වයි.

කණ්ඩායමේ වගකීම් සම්භාරයක් හිමි “ස්ක්‍රම් හාෆ්” ක්‍රීඩකයෙකු වන ජේසන් කරුණාරත්න ගැන ද සටහනක් තැබිය යුතුමය. බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ 2017/18 සංචිතය වෙනුවෙන් බර පැන දැරූවන් අතර ජේසන් ද විශේෂය. ශාරීරික වශයෙන් ඉක්මනින් සූදානම් විය හැකි නම්‍යශීලී සිරුරකින් හෙබි ජේසන් ද මෙවර අගනුවර බලකණුවේ ප්‍රබලයෙකු ලෙස හැඳින්විය හැකිය.

ගැමුණු චේතිය

මුල්පෙළ හා දෙවන පෙළ ගැන ද අදහස් දැක්විය යුතුය. කොළඹ වෙස්ලි විද්‍යාලයේ කණ්ඩායම් නායක දයාන් සබාර්, කොළඹ ආරක්ෂක වළල්ලේ කැපී පෙනෙන චරිතයකි. වයස අවුරුදු 18න් පහළ ශ්‍රී ලංකා සංචිතය ද නියෝජනය කළ සබාර් මෙවර කොළඹ කණ්ඩායමේ සිටින ප්‍රබලතම මුල්පෙළ තුරුම්පුව යැයි අයෙක් පවසන්නේ නම් එය නිවැරදිය.

කොළඹ “Blues” කණ්ඩායම නම් කෙරේ

කොළඹ “Blues” කණ්ඩායම සහ මහනුවර “Reds” කණ්ඩායම අතර පැවැත්වෙන …

කොළඹ කණ්ඩායමේ මර්මස්ථානය ලෙස පසුපෙළ හැඳින්වූව ද ඉදිරිපෙළ ද ඊට නොදෙවෙනිය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිස්ටීන් ඩි ලයිල් ද මුල් පෙළේ වැදගත්ම ක්‍රීඩකයෙකි. “ෆ්ලැන්කර්” ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ වගකීම් ඉටු කරන ඩි ලයිල් ආසියානු යොවුන් සංචිතය ද නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ප්‍රතිවාදියාව ක්ෂණයෙන් මෙල්ල කළ හැකි අද්විතීය ගුණයකින් හෙබි ඩි ලයිල් ද මෙවර කොළඹ කණ්ඩායමේ අත්‍යවශ්‍ය අංකයකි.

කොළඹ “Blues” කණ්ඩායම

ඉදිරිපෙළ

දයාන් සබාර් (වෙස්ලි විද්‍යාලය), මලීෂ මධුමෙවන් (රාජකීය විද්‍යාලය), ෆාදිල් ආදන් (රාජකීය විද්‍යාලය), ඉෆාම් ෆරීඩ් (රාජකීය විද්‍යාලය), ක්‍රිස්ටියන් ඩි ලිලී (සාන්ත තෝමස්), තරිඳු ද අල්විස් (සාන්ත ජෝසප් ), තරිඳු හසිත් (වෙස්ලි විද්‍යාලය), අදීශ හඳුන්පතිරණ (සාන්ත තෝමස්), ජවිඳු ප්‍රනාන්දු (සාන්ත පීතර), හරීත් සේනානායක (සාන්ත තෝමස්), ජූලියන් චාර්ල්ස් (සාන්ත පීතර), රවිඳු අංජුල (ඉසිපතන), ෂෙවෝන් ග්‍රෙගරි (සාන්ත ජෝසප්), අබ්දුල් ෆයිස් (සාන්ත පීතර), තුවාන් සයිඩ් (සහිරා), ෂෙහාන් එරන්ද (සාන්ත ජෝසප්), හිමන්ත හිරුෂාන් (රාජකීය), ශාමික මිලින්ද (විද්‍යා විද්‍යාලය), ලක්ෂාන් උඩුවන (සාන්ත පීතර)

පසුපෙළ

ගැමුණු චේතිය (සාන්ත ජෝසප්), නිකිල් ද සිල්වා (රාජකීය), සාබිත් ෆෙරෝස් (රාජකීය), ශාන් අකිල (සාන්ත ජෝසප්), කාවින්ද කේෂාන් (සාන්ත ජෝසප්), කෙනත් විමලදාස (සාන්ත පීතර), රුක්ෂාන් මධුසංක (සාන්ත පීතර), ජේසන් කරුණාරත්න (සාන්ත පීතර), රිසිත් ප්‍රනාන්දු (රාජකීය), මුෂින් ෆලීල් (රාජකීය), ශෙනොල් ශේනුක (සාන්ත පීතර), කළිඳු නන්දිල (රාජකීය), ජනිදු ඩිල්ෂාන් (රාජකීය)

මහනුවර ” Reds” කණ්ඩායම

කොළඹ සමඟින් තරග වදින්නට එන මහනුවර කණ්ඩායම ද ප්‍රබල ක්‍රීඩකයින්  රැසකගෙන් සමන්විත වේ.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පසුගිය තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා වූ විශ්ව රණරාජා මෙවර කන්ද උඩරට කණ්ඩායමේ සිටින ප්‍රබල “වින්ග්” ක්‍රීඩකයෙකි. වයස අවුරුදු 18න් පහළ ජාතික සත් සාමාජික සංචිතයේ ද අත්දැකීම් බහුල රණරාජාගෙන් විශාල දායකත්වයක් මහනුවර කණ්ඩායම බලාපොරොත්තු වනු නිසැකය.

විශ්ව රණරාජා

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයීය ක්‍රීඩක රශ්මික චන්ද්‍රරත්න ද මෙවර Reds කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රබල ඉදිරි ආරක්ෂකයෙකි. අතලොස්සක් වූ “ප්‍රොප්” ක්‍රීඩකයින්ට පමණක් ආවේණික වූ පන්දුව රැගෙන දිගුදුර දිවීමේ හැකියාවෙන් හෙබි රශ්මිකට ද කන්ද උඩරට ආරක්ෂක වළල්ලේ විශාල කාර්යභාරයක් පැවරී ඇත.

“Reds” හා “Blues” සටනට බාලගිරි දෝෂය

ඔක්තෝබර් 05 වැනිදා මහනුවර නිත්තවෙල දී පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ “Blues” …

මහනුවර කණ්ඩායමේ සිටින තවත් එක් ප්‍රබලයෙකු ලෙස මොහොම්මඩ් ශබීර්ව පෙන්වා දිය හැකිය. වයස් අවුරුදු 18න් පහළ සත් සාමාජික සංචිතයේ දීප්තිමත් ක්‍රීඩකයෙකු වූ ශබීර්, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ රග්බි සංචිතය ද උඩු යටිකුරු කළ ක්‍රීඩකයෙකි.

පළමු තරගය නිත්තවෙල ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන නිසාවෙන්ම මහනුවර කණ්ඩායම වෙත පිටියේ වාසිය හිමිවීම නොරහසක් වූවද දෙපිලම ප්‍රබල ක්‍රීඩකයින් රැසක් නියෝජනය කරන නිසාවෙන් මෙම තරගාවලිය ඉතා උණුසුම් වනු නිසැකයි.

රශ්මික චන්ද්‍රරත්න

මහනුවර “REDS” සංචිතය පාසල් අනුව මෙසේයි.

ත්‍රිත්ව විද්‍යාලය – ප්‍රවින්ද විජේතිලක, විශ්ව රණරාජා, අවිශ්ක ෂෙයික්, නවින් රාජරත්නම්

කිංග්ස්වුඩ් විද්‍යාලය – තරිඳු වැලිගම්පල, රශ්මික චන්ද්‍රරත්න, ජනිත් රත්නායක, ඉල්හාම් ජලීල්, මිලාන් වීරසිංහ, තුවාන් ඩිල්ෂාන්

ධර්මරාජ විද්‍යාලය – මනුක හියාරපිටිය

මලියදේව විද්‍යාලය – ලහිරු දවුලගල, ලහිරු හේරත්, කැලුම් මධුෂාන්, මලිත විජේසුන්දර, හිමාංක ධනංජය

සාන්ත අන්තෝනි  විද්‍යාලය – ඉෂාර ලියනගේ, සුහෛල් වසීම්, මොහොමඩ් ශබීර්, ජනිදු හිමසර, කවිෂ්ක ජයසූරිය, රුවන් වීරසිංහ

විද්‍යාර්ථ විද්‍යාලය – ටී. ආර්. රත්නායක, කේ. එල්. බණ්ඩාර, සී. කොටගොඩ, එම්. එස්. කළුගම්පිටිය, ටී. එස්. උමයංග, පි. යූ. ජයකොඩි, එන්.කේ. බණ්ඩාර

ශ්‍රී සුමංගල විද්‍යාලය – මොහොමඩ් ආකිල්, කේ. ආර්. බණ්ඩාර, ජේ. විකුම්සේකර, කේ. එල්. වැලිගමගේ

කෙසේ වෙතත් අනාගත ජාතික සංචිතය වෙනුවෙන් බොහෝ ක්‍රීඩකයින් පිරිසක් මෙම තරගාවලියෙන් බිහිවනු නිසැකයි.

තරගාවලියේ පළමු තරගය එළඹෙන 12 වැනිදා සවස 4.00ට මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි. සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<