ඩයලොග් ලීග් කිරුළ සඳහා CH & FC පිල සුදානම්

714

රෝහිත රාජපක්ෂගේ නායකත්වයෙන්, නවක මුහුණු රැසක් සමඟින් CH & FC කණ්ඩායම 2017/2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා මේ වන විට මනා  සූදානමකින් පුහුණුවීම් කටයුතු කරනු ලබයි. ගියවර අටවැනි ස්ථානයේ අමිහිරි මතකයෙන් මිදී අනෙක් කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීම සඳහා මෙවර කණ්ඩායමට හැකි වේද?

අතීතයෙන් බිඳක්

CH & FC හෙවත් කොළඹ හොකී සහ පාපන්දු සමාජය 1879 වසරේ ආරම්භ වූවකි. දිවයිනේ පැරණිම රග්බි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන CH & FC පිල ක්ලිෆර්ඩ් කුසලානය හත් වරක් ද දිනා ඇත. 2000 වසරේ දී අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය ජය ගැනීමට සමත් වූ ඔවුන්  2000න් පසු අන්තර් සමාජ ලීග් තරගාවලියක් ජය ගැනීමට සමත් වී නැත.

පසුගිය තරග වාරය

CH & FC කණ්ඩායම පසුගිය තරග වාරයේ කිසිදු තරගයක් ජය ගැනීමට අසමත් වූ අතර බොහෝ තරග ඉතා ඉහළ ලකුණු පරතරයකින් පරාජය වීම ද දක්නට ලැබුණි. කසුන් ශ්‍රීනාත් කණ්ඩායමේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා වෙමින් උත්සාහක දිනුම් හතරක් ද, විශ්ව දිනෙත් වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 34ක් ද ලබා ගෙන ඇත.

ප්‍රසාද ලකුණු සටහනේ අටවන ස්ථානයට පත්වන්නට CH & FC පිලට සිදුවුවද දිගින් දිගටම  ලැබූ පරාජයන් මධ්‍යයේ ඇතැම් තරගවල ඔවුන් දැක්වූ තරගකාරී බව විචාරකයින්ගේ ඇගයීමට ලක්විය. 2016/2017 තරග වාරය සඳහා චානක ෆොන්සේකා කණ්ඩායම මෙහෙය වූ අතර පුහුණුකරු ලෙස නාමල් රාජපක්ෂ කටයුතු කරන ලදි.

නව තරග වාරයේ කැපී පෙනෙන මුහුණු

නවක නායකයා ලෙස රෝහිත රාජපක්ෂ කටයුතු කරන අතර ගියවර අත්දැකීම්වලින් කණ්ඩායම මුදවා ගැනීමේ වගකීම ඔහුට බාර වී තිබේ. පසුගිය තරග වාරයේ ‘Flanker’ ස්ථානයේ ක්‍රීඩා කළ ඔහු අත්දැකීම බහුල ක්‍රීඩකයෙකි. ThePapare.com වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, නවක ක්‍රීඩකයින් සමඟ කණ්ඩායම හොඳින් පුහුණුවන බව හා පළමු ස්ථාන තුන අතරට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් තරග කරන බවත්ය. අත්දැකීම් බහුල ක්‍රීඩකයින් මෙන්ම, නවක පාසල් ක්‍රීඩකයින් ද එකතු කර ගනිමින් තියුණු තරගාවලියක් කරා කණ්ඩායම මෙහෙයවීම ඔහුට භාර වී තිබේ.

‘ලාගා’ හෙවත් සැමෝවා ජාතික TAVITA TULAGESE, CH & FC කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඉතා දක්ෂ පුහුණුකරුවෙකු වන ඔහු ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ප්‍රධාන රග්බි පුහුණුකරු ලෙස ද වසර දෙකක් තිස්සේ කටයුතු කරන ලදි. ThePapare.com වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ තමන්ට ඉතා හොඳ කණ්ඩායමක් සිටින බව හා පළමු ස්ථාන තුන අතරට පත්වීමට තරග කරන බවයි. විවිධ කණ්ඩායම්වලින් පැමිණි ක්‍රීඩකයින් හා නවක ක්‍රීඩකයින් එකට එකතු කර එක් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරවීම ඔහුට ඇති අභියෝගයයි.

කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන යෝෂිත රාජපක්ෂ නවකයින්ට මෙන්ම කණ්ඩායමට ද සවියකි. ජාතික තලයේ අතිදක්ෂ ක්‍රීඩකයෙකු වන ඔහු, පසුගිය තරග වාරයේ ද CH & FC පිල වෙනුවෙන් දක්ෂ ලෙස ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. ලී කීගල් නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සිට මෙවර CH & FC පිල සවිමත් කිරීම සඳහා පැමිණ තිබේ. වේගවත් ධාවකයෙක් වන ඔහු නාවික හමුදාවේ Center ස්ථානයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතය ද නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙකි. පොලිස් ක්‍රීඩා සමාජයේ සිට Henry Terrance සිය අවසාන රග්බි තරග වාරය සඳහා CH & FC පිල සමඟ එක්ව සිටින අතර ඔහුගේ අත්දැකීම් CH & FC පිලට ඉතා සවියක් වනු ඇත.

පාසල් පිටියේ දක්ෂයින් සමඟ පෙරට

මෙවර තරග වාරය සඳහා CH & FC පිලට පසුගිය පාසල් ලීග් ශූරතාවය සඳහා ක්‍රීඩා කළ දක්ෂයින් කිහිප දෙනෙක් ඇතුලත් වී තිබීම විශේෂ කරුණකි. මහනුවර සාන්ත අන්තෝනි විදුහලේ සැමුවෙල් මධුවන්ත CH & FC පිලට එක්වූ නවතම සාමාජිකයෙකි. වේගවත් ධාවකයෙක් මෙන්ම දක්ෂ ගෝල දිනුම් ප්‍රවර්තකයෙක් වන ඔහු, මෙවර තරග වාරයේ සිය උපරිම දක්ෂතා පෙන්වනු ඇතැයි යන්න කණ්ඩායමේ අපේක්ෂාවයි. කොළඹ වෙස්ලි විද්‍යාලය නියෝජනය කළ ලී සහෝදරයින් ද, CH & FC පිලේ නවක මුහුණු වේ. අවන්ත ලී හා අවිශ්ක ලී කණ්ඩායමට සවියක් වෙයි. වෙස්ලි පිලේ පිළිවෙළින් ‘Center’ හා ‘Scrum half ‘ ස්ථාන වල ක්‍රීඩා කළ ඔවුන්ගේ සංයුතිය කණ්ඩායමට තවත් සවියක් වනු ඇත. වෙස්ලි විදුහලේ ‘Flanker’ ස්ථානයේ ක්‍රීඩා කළ ඉමේෂ් අපොන්සු ද කණ්ඩායමේ නවක තරුවකි.   

බලාපොරොත්තුව

නවකයින්, ජ්‍යේෂ්ඨයින් මෙන්ම, අත්දැකීම් බහුල ජාතික තලයේ ක්‍රීඩකයින්ගෙන් ද සමන්විත CH & FC පිල අනෙක් කණ්ඩායම්වලට ද තර්ජනයක් වෙමින් මෙවර තරග වාරයේ ඩයලොග් ලීග් කිරුළ සඳහා තරග වදිනු ඇත. ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් CH & FC පිල නොවැම්බර් 4 දා මහනුවර ක්‍රීඩා සමාජය සමඟ CH & FC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

2017/18 – CH & FC රග්බි සංචිතය

[a-team-showcase-vc ats_team_id=”2208888″]